
2011 වසරේ උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙමින් සිටි පාසල් ශිෂ්‍යාවකට බරපතළ ලිංගික අපරාධයක් සිදු කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු හින්දු පූජකවරයෙකු වන නිත්‍යනන්දන් මෝහන්රාජ් නමැත්තාට වවුනියාව මහාධිකරණය නියම කර තිබූ සිර දඬුවම් හා දඩ මුදල් අභියාචනාධිකරණය විසින් තහවුරු කරයි.
මෙම දඬුවමින් තමන් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස
ඉල්ලා අදාළ පූජකවරයා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ප්‍රතික්ෂේප කළ
අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නා.
අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගේන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාග කරනු ලැබුවා.
2011 වසරේ අතවරයට පත් මෙම සිසුවිය වවුනියාව ප්‍රදේශයේ පිහිටි මැණික් ෆාම් නමැති සරණාගත කඳවුරේ රැඳී සිට ඇති අතර, ඇය උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සූදානමින් පසුවූ 17 හැවිරිදි තැනැත්තියක බවත්, ඇය විත්තිකාර පූජකවරයාගේ මුලතීව්, උදයාර් කට්ටු ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් එහි රැඳී සිටිමින් අධ්‍යාපන කටයුතුවල නිරත වී සිට ඇති අතර විත්තිකාර පූජකවරයා ඇයගේ ඥාතියෙකු බව ද නඩු විභාගයේදී අනාවරණය කළේය.
2011 වසරේ නොවැම්බර් මස 11 වැනි දා හෝ ඊට ආසන්න දිනයකදී එම දැරියට සිය නිවස තුළදී විත්තිකරු විසින් බරපතළ ලිංගික අපරාධයක් සිදු කළ බවත්, ඉන්පසුව එම දැරිය අදාළ නිවසින් පලාගොස් ඇය රැඳී සිටි සරණාගත කඳවුරට පැමිණ ඇති බවද සඳහන්.
මාස කීපයක් ගත වූ විට ඇය ගැබිනියක් බව අනාවරණය වූ අතර, ඒ පිළිබඳව සිදුකළ පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඇය කියා සිටියේ විත්තිකරු තමන්ට ලිංගික අතවරයක් සිදු කළ බව යි.
එහෙත්, පොලිස් විමර්ශනවලදී ප්‍රකාශ ලබා දුන් විත්තිකරු මෙම ක්‍රියාව අදාළ දැරියගේ කැමැත්ත මත සිදුවූ බව ප්‍රකාශ කළේය.
මෙම සිද්ධියට අදාළව ඩී.එන්.ඒ. වාර්තාවක් කැඳවා තිබූ අතර, ඒ මගින් තහවුරු කර තිබුණේ අදාළ දැරියගේ කුසේ සිටින දරුවාගේ පියා මෙම විත්තිකරු බව යි.
ඉන් අනතුරුව අදාළ දැරියට ලිංගික අපරාධයක් කළ බවට චෝදනා කරමින් විත්තිකරුට එරෙහිව වවුනියාව මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කළ අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරු එම චෝදනාවලට වරදකරු කරනු ලැබුවා.
ඒ අනුව, විත්තිකරුට වවුනියාව මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 17ක සිර දඬුවම් නියම කළා.
ඊට අමතරව රුපියල් 5000ක දඩයක් ද අධිකරණය විසින් නියම කළ අතර රුපියල් ලක්ෂ තුනක මුදලක් වන්දි වශයෙන් අතවරයට පත් දැරියට ගෙවිය යුතු බවත් වවුනියාව මහාධිකරණය විත්තිකරුට නියම කළේ ය.
ඉන් අනතුරුව එම දඬුවම්වලින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරු අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳවද දීර්ඝ විභාගයක් සිදු කෙරුණා.
අනතුරුව විනිසුරු අමල් රණරාජාගේ මහතාගේ එකඟත්වය ඇතිව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා,සඳහන් කළේ විත්තිකරු දැරියගේ කැමැත්ත මත මෙම ක්‍රියාව සිදුකළ බවට ප්‍රකාශ කර තිබුණත් එය පිළිගත නොහැකි බවයි.
ඒ සම්බන්ධයෙන් නඩු තීන්දුවේද පැහැදිලිව සඳහන් කර තිබුණි.....
මෙහිදී "කැමැත්ත" යන කරුණ පිළිබඳව විශ්ලේෂණයක් සිදුකළ විනිසුරුවරයා, "කිසියම් බියක් හෝ කම්පනයක් මත යටත් වීමක් හෝ නිහඬව සිටීමක් කැමැත්ත වශයෙන් අර්ථකථනය කළ නොහැකි යි. විත්තිකරුගේ ආගමික අධිකාරිය, තර්ජන සහ යුද පසුබිම තුළ ඇති වූ බිය හමුවේ වින්දිතයා අසරණව සිටි බව පැහැදිලි යි," යනුවෙන් පැවසීය.
මීට අමතරව මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට වින්දිත දැරිය ප්‍රමාද වූ බවටත් විත්ති පාර්ශ්වය තවත් චෝදනාවක් එල්ල කර තිබිණි.
එහෙත්, එම කරුණ ද ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා "ලිංගික අතවරයකට ලක්වූ වින්දිතයෙකු සමාජ අපවාදයට හෝ ජීවිත තර්ජනවලට ඇති බිය නිසා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම ප්‍රමාද කිරීම සාමාන්‍යයෙන් සිදුවිය හැකි දෙයක්. එම ප්‍රමාදය සාධාරණීකරණය කළ හැකි යි. වින්දිතයාගේ සාක්ෂිය විශ්වසනීය නම් එම සාක්ෂිය තහවුරු කිරීමට සෑම අවස්ථාවක ම අතිරේක සාක්ෂි ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවේ. මෙහිදී දැරිය ගැබ් ගැනීම ඩී.එන්.ඒ ( DNA) වාර්තාව මගින් ලිංගික සංසර්ගය හේතුවෙන් සිදු වූ බව ඍජුව ම තහවුරු වී තිබෙනවා," යනුවෙන් සඳහන් කළේ ය.
ඊට අමතරව දැරියගේ පසුකාලීන හැසිරීම තුළින් ද ඇය මෙම අකරතැබ්බයට මුහුණ දී තිබෙන බව තහවුරු වන බවත් විනිසුරුවරයා සිය තීන්දුව තුළින් පෙන්වා දුන්නේ ය.
"මෙම සිද්ධියෙන් පසු වින්දිත දැරිය උසස් පෙළ විභාගය පවා අතහැර විත්තිකරුගේ නිවසින් පිටව ගොස් තිබෙනවා. එය ඇයගේ කැමැත්ත මත සිදු වූ ඇසුරක් බවට විත්තිකරු ඉදිරිපත් කළ තර්කයට පටහැනි වූ ප්‍රබල සාක්ෂියක් ලෙස සැලකිය හැකි යි. විත්තිකරු ප්‍රකාශ කරන ආකාරයට ඇයගේ කැමැත්ත මත මෙම ක්‍රියාව සිදුවුණේ නම් අතවරයට පත් දැරිය මේ ආකාරයෙන් කටයුතු නොකරන්නට ඉඩ තිබුණා," යනුවෙන් නඩු තීන්දුවේ සඳහන් විය.
ඒ අනුව විත්තිකරුට එරෙහිව මහාධිකරණය හමුවේ ඉදිරිපත් වූ සාක්ෂි විශ්ලේෂණය කර බැලීමේදී ඔහු වරදකරු කරමින් දඬුවම් පැමිණවීමට මහාධිකරණ විනිසුරුවරයා ගත් තීරණය නීත්‍යනුකූල බවත්, ඊට මැදිහත්වීමට තම අධිකරණය අපේක්ෂා නොකරන බවත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළා.
ඒ අනුව විත්තිකරුගේ අභියාචනය ප්‍රතික්ෂේප කරන බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල
නියෝග කළා.
කෙසේ වෙතත්, විත්තිකරුට පෙර වැරදි නොමැති වීම සහ ඔහු පස් දරු පියෙකු වීම යන කාරණා සැලකිල්ලට ගෙන ඔහුට නියම කරන ලද වසර 17ක සිර දඬුවම වසර 13ක් දක්වා අඩු කරන බවත් එම සිර දඬුවම විත්තිකරු වරදකරු කළ දිනයේ සිට ක්‍රියාත්මක විය යුතු බවත් අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන් විය.
මෙහිදී විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටියා.