
සටන් විරාමයක් පැවතුණ ද, ඇමෙරිකානු හමුදා මැදපෙරදිග කලාපයෙන් ඉවත් නොවන බවත්, ඉතා හොඳ සූදානමකින් සිටින බවත් ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කර තිබේ.
"Truth Social" ජාලය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින්, අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
විශේෂයෙන්ම 'ඔපරේෂන් එපික් ෆියුරි' (Operation Epic Fury) මෙහෙයුමෙන් පසුව ඇති කරගත් සති දෙකක තාවකාලික සටන් විරාමය පිළිබඳව ඔහුගේ දැඩි ස්ථාවරය මෙයින් යළි අවධාරණය කර තිබේ.
එමෙන්ම ඉරානයට පරමාණුක අවි ලබා ගැනීමට කිසිසේත් ඉඩ නොදෙන බවට වූ ට්‍රම්ප්ගේ මූලික ප්‍රතිපත්තිය ද මෙහිදී යළිත් තහවුරු කර ඇත.
ජනාධිපති ට්‍රම්ප්ගේ නිල ප්‍රකාශය ;
"සියලුම ඇමෙරිකානු නෞකා, ගුවන් යානා සහ හමුදා නිලධාරීන්, අතිරේක පතොරම්, අවි ආයුධ සහිතව ඉරානය තුළ සහ ඒ අවට දිගට ම රැඳී සිටිනු ඇත. ඒ, දැනටමත් සැලකිය යුතු ලෙස දුර්වල කර ඇති සතුරා 'විනාශ කිරීමට' අවශ්‍ය සියල්ල සමඟයි.
මෙලෙස රැඳී සිටින්නේ, ඇති කරගත් 'සැබෑ ගිවිසුම' සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන තෙක් පමණි.
යම් හෙයකින් එම ගිවිසුම කඩ වුවහොත් (එය සිදු වීමට ඇති ඉඩකඩ ඉතා අඩු වුවද) එවිට මීට පෙර කිසිවෙකුත් දැක නොමැති ආකාරයේ 'ප්‍රහාර ආරම්භ වනු ඇත'
මෙය මීට බොහෝ කලකට පෙර ද පැවසූවකි.
පරමාණුක අවි (Nuclear Weapons) නිපදවීමට ඉඩක් නැත. හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව සහ ආරක්ෂිතව පවතිනු ඇත.
මේ අතරතුර, අපගේ ශ්‍රේෂ්ඨ හමුදාව නැවතත් සන්නද්ධ වෙමින් සහ විවේක ගනිමින් පසුවේ. ඔවුන් ඇත්ත වශයෙන්ම සිය ඊළඟ විජයග්‍රහණය දෙස බලා සිටියි. ඇමෙරිකාව නැවත පැමිණ ඇත! (AMERICA IS BACK!)"