
අමෙරිකා - ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක ආර්ථිකය අස්ථාවර වී ඇති සහ ඓතිහාසික බලශක්ති අර්බුදයක් නිර්මාණය වී ඇති මොහොතක, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) තෙල් අපනයනය කරන රටවල සංවිධානය (OPEC) සහ OPEC+ කණ්ඩායමෙන් ඉවත් වී ඇති බව නිවේදනය කර ඇත.
මෙය එම සංවිධානවලට සහ එහි ප්‍රධාන නායකත්වය දරන සෞදි අරාබියට එල්ල වූ දැඩි පහරකි.
ඉරාන තර්ජන සහ නෞකාවලට එල්ල වන ප්‍රහාර හේතුවෙන්, ලෝකයේ බොරතෙල් සහ ද්‍රව ස්වභාවික වායු ප්‍රමාණයෙන් පහෙන් එකක් ගමන් කරන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා සිය අපනයන සිදු කිරීමට පර්සියානු ගල්ෆ් කලාපයේ තෙල් නිෂ්පාදකයින් මේ වන විටත් දැඩි ලෙස අරගල කරමින් සිටියි.
කලාපීය ව්‍යාපාරික මධ්‍යස්ථානයක් මෙන්ම වොෂින්ටනයේ වැදගත්ම මිත්‍රයෙකු වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම තීරණය ගෙන ඇත්තේ, යුද්ධය අතරතුර එල්ල වූ විවිධ ඉරාන ප්‍රහාරවලින් තමන්ව ආරක්ෂා කර ගැනීමට අනෙකුත් අරාබි රටවල් ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු නොකළ බවට චෝදනා කරමිනි.
1960 දී ආරම්භ කරන ලද OPEC සංවිධානය ලෝක තෙල් සැපයුමෙන් තුනෙන් එකකට වඩා නිෂ්පාදනය කරන බැවින්, එය ගෝලීය තෙල් වෙළඳපොළේ ප්රබලතම සාධකයක් ලෙස සැලකේ.