
බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් (Keir Starmer) චාල්ස් රජුට සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ.
ඒ, නිල වශයෙන්ම අගමැති ධුරයෙන් ඉවත් වීම සනිටුහන් කරමිනි.
එහිදී ඔහු සඳහන් කර තිබුණේ, මෙම ධුරයේ සේවය කිරීමට ලැබීම තමාගේ "ජීවිතයේ ලැබූ උතුම්ම වරප්‍රසාදයක්" වන බවයි.
බකිංහැම් මාලිගය නිල නිවේදනයක් නිකුත් කරමින්, කියර් ස්ටාමර් අද (20) උදෑසන රජු හමුවී සිය ඉල්ලා අස්වීම භාරදුන් බවත්, රජු එය ඉතා කැමැත්තෙන් පිළිගත් බවත් ප්‍රකාශයට පත්කරන ලදී.
ඔහුගෙන් පසුව බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයා ලෙස ඇන්ඩි බර්න්හැම් (Andy Burnham) පත්ව තිබේ.
ඔහු පසුගිය දශකය තුළ එක්සත් රාජධානියේ පත් වූ හත්වැනි නායකයා වේ.
පක්ෂය තුළින් එල්ල වූ බලපෑම් සහ ජනප්‍රියතා මිනුම්වල පසුබෑම හේතුවෙන් ස්ටාමර් ඉල්ලා අස්වීමෙන් පසුව, සිකුරාදා දිනයේදී බර්න්හැම් එක්සත් රාජධානියේ පාලක ලේබර් පක්ෂයේ (Labour Party) නායකයා බවට පත් විය.
මේ සමඟ ස්ටාමර් ලේබර් පක්ෂ ඉතිහාසයේ කෙටිම කාලයක් අගමැති ධුරය දැරූ තැනැත්තා බවට පත් විය.