
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර ඇත.
ඒ අනුව යාපනය දිසා විනිසුරු ලෙස සේවය කරන අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරියෙකු වන පෙරුමාල් සිවකුමාර් මහතා, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස සේවය කරන අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරිනියක වන ආනන්දි කනගරත්නම් මෙනෙවිය සහ කොළඹ දිසා විනිසුරු ලෙස සේවය කරන අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරියෙකු වන ඤාණේස ලලිත් කන්නන්ගර මහතා මෙසේ නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (23) පෙරවරුවේ එම මහත්ම මහත්මීන් වෙත භාරදෙන ලදී.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද එක්ව සිටියේය.