
කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා (British Columbia) ප්‍රාන්තයේ 'ටම්බ්ලර් රිජ්' (Tumbler Ridge) නම් දුරස්ථ නගරයක පිහිටි උසස් පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව, ප්‍රහාරය එල්ල කළ කාන්තාව ද අවසානයේ වෙඩි තබාගෙන මියගොස් ඇත.
ප්‍රහාරයෙන් 25 දෙනෙකුට පමණ සුළු තුවාල සිදුව ඇති අතර, දෙදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය වන බවත් සඳහන්.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, මෙවැනි සමූහ වෙඩි තැබීම් පිරිමි පුද්ගලයින් විසින් සිදුකළ ද මෙම ප්‍රහාරය කාන්තාවක විසින් සිදුකිරීම පුදුමසහගත වන බවයි.
විදෙස් වාර්තාවන්ට අනුව ප්‍රහාරක කාන්තාව පාසල තුළදී පුද්ගලයන් 6 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති අතර මෙම සිදුවීමට සම්බන්ධ යැයි සැක කෙරෙන නිවසක තිබී තවත් මළ සිරුරු දෙකක් සොයාගෙන ඇත.
තවත් අයෙකු මියගොස් ඇත්තේ රෝහලට රැගෙන යන අතරතුරදීයි.
සිද්ධිය සම්බන්ධයෙන් කැනඩා අගමැති Mark Carney පවසා ඇත්තේ, මෙම බිහිසුණු ක්‍රියාව නිසා තමා දැඩි කම්පනයට පත්ව සිටින බවත්, වින්දිතයන්ගේ පවුල් වෙනුවෙන් සිය ශෝකය පළකරන බවයි.
මෙය කැනඩා ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම සමූහ ඝාතන අතරට එක්වන්නකි.
එරට පොලිසිය පවසන්නේ දැනට මහජනතාවට තවදුරටත් තර්ජනයක් නොමැති බවත්, ප්‍රහාරයට හේතුව සෙවීමට පරීක්ෂණ පවත්වන බවත්ය.