
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුද වාතාවරණය සහ එහි බලපෑම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කටාර් රාජ්‍යයේ එමීර්, ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි (Sheikh Tamim bin Hamad Al Thani) අතර ඊයේ (18) විශේෂ දුරකථන සංවාදයක් සිදුව තිබේ.
මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇති ප්‍රධාන කරුණු කිහිපයකි.
කටාර් රාජ්‍යයේ සේවය කරන 150,000කට අධික ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය සහ ආරක්ෂාව පිළිබඳව මෙහිදී අවදානය යොමුවීම ඒ අතර විශේෂය.
එහිදී එමීර්වරයා අවධාරණය කර තිබුණේ, සියලුම විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටාර් රජය කැපවී සිටින බවයි.
පවතින ගැටුම්කාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.
එමෙන්ම, යුද්ධය හේතුවෙන් ඉන්ධන සැපයුමට සහ බලශක්ති ක්ෂේත්රයට එල්ල විය හැකි බාධා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා සිදුව ඇත.
එහිදී කටාර් රාජ්‍යය සැමවිටම විශ්වාසදායක බලශක්ති සහකරුවෙකු ලෙස කටයුතු කරන බවට එමීර්වරයා තහවුරු කර තිබේ.
මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සහයෝගීතාවය කටාර් රාජ්‍යය වෙත ප්‍රකාශ කර සිට ඇති අතර, කලාපයේ සාමය තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දී තිබේ.