
යාපනය විශ්වවිද්‍යාලයේ සියලුම සිසුන් අද (19) සිට පන්ති වර්ජනයක් දියත් කිරීමට තීරණය කොට තිබෙනවා. යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශකයෙකු සදහන් කලේ ආරක්ෂක අංශ විසින් විශ්ව විද්‍යාල සිසුන් මර්දනය කිරීමට ගෙන ඇති පියවර වලට විරෝධය පල කරමින් දින නියමයක් නොමතිව මෙම පන්ති වර්ජනය ප්‍රකාශයට පත් කොට ඇති බවයි. යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ගෙන් බහුතරයක් මේ පන්ති වර්ජනයට ඉතා දැඩි සේ විරුද්ධ වී ඇතත් ජේයෂ්ඨ සිසුන්ගේ බලපෑම හා තර්ජනයන් නිසා ඔවුන්ද මේ පන්ති වර්ජනයට සහය දැක්වීමට තීරණය කොට ඇත. ජාතික නිදහස් දිනය දා යාපනය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන කොඩිගසේ හා තවත් ගොඩනැගිලි වල කලු කොඩි ඔසවා ජාතික නිදහස් දිනයට විරෝධය පලකිරීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ පරීක්ෂණ වලට විරෝධය පල කිරීම සදහා මෙම පන්ති වර්ජනය දියත් කොට තිබෙන බව සඳහන්. අදාල පරීක්ෂණ වලදී පොලීසිය එම ක්‍රියාවට සම්බන්ධ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් තුන් දෙනෙකු හදුණා ගෙන ඔවුන්ට පොලීසියට පැමිණෙන ලෙස කළ දැණුම් දීමකින් පසුව මෙම පන්ති වර්ජනය දියත් කොට තිබෙනවා. එම සිසුන් තුන් දෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම පිණිස ඔවුන්ව පොලීසිය වෙත එවන මෙන් පොලීසිය යාපනය විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා හරහා දණුම් දුන් අවස්ථාවේදී විශ්ව විද්‍යාල පාලන අධිකාරිය සදහන් කොට තිබුණේ එම නිවේදනය ලැබීමේදී ප්‍රමාදයක් සිදු වූ බැවින් එදින සිසුන් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවයි. පසුව පොලීසිය විශ්ව විද්‍යාල බලධාරීන්ට යළිත් වරක් දැණුම් දී ඇත්තේ සිසුන්ට පහසු දිනයක පොලිස් ස්ථානයට පැමිණෙන ලෙසයි. එම දැණුම් දීමත් සමගම රැස් වූ යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය දින නියමයක් නොමැතිව පන්ති වර්ජනයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඔවුන් එහිදී ප්‍රකාශ කොට ඇත්තේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට කිසිදු ආකාරයක නිදහසක් නොමැති නිසා යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ජාතික නිදහස් දිනය ශෝක දිනයක්ක් ලෙස ප්‍රකාශයට පත් කළ බවයි. එය සනිටුහන් කිරීම පිණිස කලු කොඩි එසවීම කිසිදු ආකාරයක අසාධාරණ ක්‍රියාවක් නොවන බවද මේ අවස්ථාවේදී එවැනි සිද්ධීන් දඩමීමා කරගෙන යාපනය විශ්ව විද්‍යාලයේ දෙමළ සිසුන් දඩයම් කිරීමට ගන්නා උත්සාහය දැඩි අසාධාරණ බැවින් ඊට එරෙහිව පන්ති වර්ජනයක් දියත් කෙරෙන බවයි.