
ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා අද (17) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපි ඉදිරිපත් කරමින් සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වූවා.
එලෙස ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියෙන් කුමාර ජයකොඩි මහතා පෙන්වා දී ඇත්තේ, ඉදිරියේදී සිදුකිරීමට නියමිත විමර්ශන කටයුතු ඉතා ස්වාධීනව සහ කිසිදු පක්ෂපාතීත්වයකින් තොරව සිදුවිය යුතු බවත් තමා අමාත්‍යවරයාව සිටීම සිටීම පවා ඊට බාධාවක් වෙතැයි යන ස්ථාවර මත පිහිටා වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.
අමාත්‍යවරයා, ජනාධිපතිවරයා වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහතින්....
උපුටාගැනීමයි,
''ගල් අඟුරු සැපයුම් සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට ගත් තීන්දුවත්, 2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමත් හරහා ඔබතුමන් තුළ ඇති දූෂණයට එරෙහිව සහ ජනවරමට කැපවුණු නිර්භීත අධිෂ්ඨානය මම බෙහෙවින්ම අගය කරමි.
වංචාව හා දූෂණයට එරෙහිව ලැබූ ජනවරම අනුව යමින්, පාරදෘෂ්‍ය සහ සුපිළිපන්න ආණ්ඩුකරණයක් වෙනුවෙන් ගනු ලබන එවැනි ක්‍රියාමාර්ග මේ රටේ මතු පරපුර වෙනුවෙන් පවා අත්‍යාවශ්‍ය බව මම විශ්වාස කරන අතර, වැසී ඇති සත්‍යය ඒ හරහා නිරාවරණය වනු ඇතැයි මම විශ්වාස කරමි.
පසුගිය දින පාර්ලිමේන්තුවේදී මට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී, ආණ්ඩු පක්ෂය මා කෙරෙහි තැබූ විශ්වාසය සහ ලබා දුන් සහයෝගය පිළිබඳව මම ඉතාමත් කෘතඥ පූර්වකව සිහිපත් කරන අතර එකී විශ්වාසය නියමින් හෝ අනියමින් පලුදුවන ආකාරයේ කිසිදු කටයුත්තකට මා සම්බන්ධ වී නැති බව මම හෘද සාක්ෂියට එකඟව සහතික කරමි.
දශක ගණනාවක් තිස්සේ අපේ රටේ ජනතාව අපේක්ෂා කර පිරිසිදු පාලනය සහ ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින් කටයුතු කළ බවද ඔබතුමන්ට ගෞරවයක් පිණිස සඳහන් කරමි.
කෙසේ වෙතත් ඉදිරියේදී සිදුකිරීමට නියමිත විමර්ශන කටයුතු ඉතා ස්වාධීනව සහ කිසිදු පක්ෂපාතීත්වයකින් තොරව සිදුවිය යුතු බවට මා විශ්වාස කරන අතර විමර්ශනයන් සිදුවන අතරේ මම මෙම තනතුරේ සිටීම පවා ඊට බාධාවක් වෙතැයි යන ස්ථාවර මත පිහිටා වහාම ක්‍රියාත්මක වන පරිදි 2026 .04 .17 දින බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරමි.
මෙම පරීක්ෂණය අවසන් වී සත්‍යය ජනතාව හමුවේ තහවුරු වන තෙක් මා මෙම තීරණය ස්ථාවරව සිටින අතර, එම විමර්ශන ප්‍රකාරව ලැබෙන ඕනෑම තීන්දුවක් මා ඉතසිතින් භාර ගනිමි.
පිරිසිදු දේශපාලන සංස්කෘතියක් හෝ උදෙසා ඔබතුමා සහ ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙලට මාගේ සහයෝගය නිරන්තරයෙන් හිමිවනු ඇත.''
