
දිට්වා සුළි කුණාවුට හේතුවෙන් අර්ධ හානියට පත් නිවාස සඳහා රජයෙන් අනුමත කළ රුපියල් ලක්ෂ 05ක වන්දි මුදල සුවිශේෂී ගැටලුවකදී හැර සෙසු සියලු අවස්ථාවල එම ප්‍රතිලාභීන්ට මැයි මස අවසන් වීමට පෙර ගෙවා අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22) පෙරවරුවේ පැවති දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානියට සහ පූර්ණ හානියට පත් නිවාසවල පදිංචිකරුවන් වෙත වන්දි ගෙවීමේ සහ නව නිවාස ලබා දීමේ කටයුතු සම්බන්ධයෙන් වූ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදීය.
පූර්ණ හානි වූ නිවාසවල පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවසක් ලබා දීමේ හෝ නිවසක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 50ක වන්දි මුදල ලබා දීමේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය. මෙම වන්දි මුදල් ගෙවීම කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.
තවමත් කඳවුරුවල ජීවත්වන ජනතාවට නව නිවසක් ලබා දෙන තුරු තාවකාලික නිවාසවල පදිංචි කරවීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.
ඊට සුදුසු ස්ථාන පිළිබඳ සොයා බලා එම කටයුතු ඉතා ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
අධිඅවදානම් කලාපවල ජීවත් වන ජනතාව වෙනත් ස්ථානවල පදිංචි කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර, නව නිවසක් මිලදී ගැනීමට හෝ ඉදිකිරීමට වන්දි ලබා නොගත් පදිංචිකරුවන් වෙනුවෙන් නිවාස සංකීර්ණ ඉදිකිරීමේ සැලසුම් පිළිබඳවද අවධානය යොමු විය.
මෙම සාකච්ඡාවට නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාද, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. අලෝක බණ්ඩාර, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ. ජී. ධර්මතිලක යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.