
භාණ්ඩාගාර අරමුදල්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් පරිගණක හැකර්වරයෙකුට ගොස් ඇති බවට වන වාර්තා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය ඉදිරියේදී පැහැදිලි කිරීමක් කරනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමා සතුව තවමත් සවිස්තරාත්මක තොරතුරු නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
ඒ, අද (22) කැබිනට් මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව මාධ්‍යවේදියෙක් නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
මාධ්‍යවේදියා එහිදී අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ, අමෙරිකානු ඩොලර් මිලියන 22.9ක ණය මුදලක් ගෙවීමට තිබූ රටකට, ණය පියවීමක් ලෙස මහා භාණ්ඩාගාරය විසින් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් කිසියම් පරිගණක හැකර්වරයෙකුට ගොස් ඇති බවට වන වාර්තාවන් පිළිබඳවයි.
එමෙන්ම මෙම සිදුවීමෙන් පසු භාණ්ඩාගාර නිලධාරීන් කිහිප දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බවට පළවන වාර්තා පිළිබඳව ද මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියා.
ඊට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා විසින් මෙම කරුණු සම්බන්ධයෙන් ලිපියක් කතානායකවරයාට ඉදිරිපත් කර ඇති බවත්, ඒ අනුව අදාළ කරුණු සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකර, විමර්ශනයක් සිදුකරනවා ද නැද්ද යන්න කතානායකවරයා විසින් තීන්දුවක් ගනු ඇති බවයි.
"මම හිතන්නේ ඔබ කතා කරන්නේ ඔය ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා, කතානායකතුමාට ඉදිරිපත් කරපු ලිපිය පදනම් කරගෙන වෙන්නට ඕනේ. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් කරයි. දැනට මේ ගැන තොරතුරු අපිට වාර්තා වෙලා නැහැ. මේ ලිපිය පමණයි මේකට පදනම් වෙලා තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඉතාම ඉක්මනට මුදල් අමාත්‍යාංශය කරුණු පැහැදිලි කිරීමක් කරයි.
මේ පිළිබඳ කරුණු හොයලා බලලා තමයි කතානායකවරයා තීන්දුව ගන්නේ. කතානායකවරයා තමයි ඒකට උත්තර දෙන්න ඕනේ, පාර්ලිමේන්තුව හැටියට ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරනවද නැද්ද කියන එක. තවමත් තිබෙන්නේ මේ ලිපිය පමණයි මගේ අතේ. මේ පිළිබඳ වැඩි විස්තර මගේ ළඟ නැහැ.''
මෙම ප්‍රකාශය සිදුකෙරෙන්නේ, භාණ්ඩාගාරයට අයත් ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවන පාර්ශවයකට යොමු වී ඇති බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කරන පසුබිමකදීය.
එම වාර්තා සඳහන් කරන පරිදි, මෙම මුදල 2025 සැප්තැම්බර් මාසයේදී ගෙවීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 22.9ක ණය පියවීමේ කොටසක් වන අතර, එය අදාළ ණය හිමි රට වෙත ලැබී නොමැති බව පැවසේ.