
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති ජාලය සිදුකළ අනාවරණයට එරෙහිව එවන ලද එන්තරවාසියට, හිරු මාධ්‍ය ජාලයේ නීතිඥවරුන් විසින් අද ප්‍රබල ප්‍රතිචාරයක් ලබා දුන්නා.
එහිදී හිරු මාධ්‍ය ජාලය අවධාරණය කර සිටින්නේ ලාල්කාන්ත මහතා ඉදිරිපත් කළ එන්තරවාසිය මගින් කරන ලද සියලු චෝදනා සහ ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
වත්කම් සහ බැරකම් ප්‍රකාශයක් නීතියට අනුකූලව ඉදිරිපත් කිරීමට ලාල්කාන්ත මහතා අපොහොසත් වී ඇති බව පෙන්වා දෙන හිරු මාධ්‍ය ජාලයේ නීතිඥවරුන්, 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත යටතේ එම ප්‍රකාශයෙහි දෝෂ පවතින බවද සිය ලිපිය මගින් දන්වා තිබෙනවා.
විශේෂයෙන්ම මෙම ලිපිය හරහා ලාල්කාන්ත මහතාගේ කීර්තිනාමය පිළිබඳවද බරපතල ප්‍රශ්න කිරීමක් සිදුකර තිබෙනවා. හිරු මාධ්‍ය ජාලයේ නීතිඥවරුන් පවසන්නේ අමාත්‍යවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළහොත්, ඔහු "කැළලක් ඇතිවීමට තරම් කීර්තිනාමයක් නොමැති පුද්ගලයෙකු" යන ස්ථාවරය අධිකරණය ඉදිරියේ ඔප්පු කරන බවයි.
එම තර්කයට පදනම් වී ඇති කරුණු මෙසේයි:
පොදු දේපළවලට හානි කිරීම, පුරවැසියන්ට එරෙහිව ප්රචණ්ඩත්වය ඇවිස්සීම, වැනි කරුණුවලට තමන් සම්බන්ධ වූ බව ලාල්කාන්ත මහතා විසින්ම ප්‍රසිද්ධ වේදිකාවලදී පිළිගෙන ඇති බව එම ලිපියෙහි සඳහන්.
පසුගිය අප්‍රේල් 18 වැනි දින හිරු මාධ්‍ය ජාලය විසින් අදාළ පුවත සම්බන්ධයෙන් අවශ්‍ය නිවැරදි කිරීම් දැනටමත් සිදුකර ඇති බවද මෙහිදී පෙන්වා දී තිබෙනවා.
අවසාන වශයෙන් හිරු මාධ්‍ය ජාලය අවධාරණය කරන්නේ, සිය විකාශන අයිතියට බාධා කිරීමට දරන ඕනෑම උත්සාහයකට එරෙහිව ආයතනික පුරවැසියෙකු ලෙස හිමි සියලු අයිතිවාසිකම් භාවිත කරමින් නීතිමය පියවර ගන්නා බවයි.