පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (21) පෙරවරුවේ පැවැත්වුණා.
පරිසර සංරක්ෂණය සහ කළමනාකරණය පිළිබඳව දැනුමෙන් පිරිපුන් සිසුන් සඳහා ජනාධිපති පදක්කම් පිරිනමා ඔවුන් ඇගයීම වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්රදානෝත්සවය වාර්ෂිකව සංවිධානය කරනු ලැබේ.
මෙවර 11 වෙනි වරටත් පැවති පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්රදානෝත්සවයේදී පරිසර නියමුවෝ 192ක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් ජනාධිපති පදක්කම් ලැබූ අතර පාසල් සිසුන් පරිසර නියමුවන් ලෙස පුහුණු කළ ගුරුවරුන්ට උපහාර පිදීම ද මෙහිදී සිදුවිය.
2025 පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්රදානෝත්සවය වෙනුවෙන් සම්පාදනය කෙරුණු විශේෂ සමරු කලාපයද ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.
මෙම උත්සව සභාව ඇමතූ පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ පරිසර දූෂණයේ අහිතකර ප්‍රතිවිපාකවලට අද මුළුමහත් ලෝකයටම මුහුණ දීමට සිදුව ඇති බවයි.
අප කුඩා කල අත් නොවිඳී, මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වත්මන් පරපුරට අත්විඳීමට සිදුව ඇති, පරිසර විනාශය ආපසු හරවමින් සියලු ජීවින්ට යහපත් පරිසරයක් උදාකර දීමේ වගකීම සියලුදෙනා වෙත පැවරී තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කරන ලදී.
වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළද පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳ ප්රමුඛ අවධානයක් යොමු කරමින් වැඩසටහන් රැසක් හඳුන්වා දී තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා එහි ප්‍රධාන වැඩසටහනක් ලෙස Clean Sri Lanka වැඩසටහන මේ වන විට ශක්තිමත්ව ක්‍රියාවට නංවා තිබෙන බව පෙන්වාදෙන ලදී.
සොබාදහම සහ සංවර්ධනය අතර සමතුලිතතාව රැක ගනිමින් ජන ජීවිතය ඉදිරියට ගෙන යාම ජනාධිපතිවරයා ප්රමුඛ රජයේ වැඩපිළිවෙළ බවද පෙන්වා දුන් අමාත්‍යවරයා පදක්කම්ලාභී සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේ, අද ජීවත් වන පරිසරයට වඩා සුවදායී හරිත පරිසරයක් මතු පරපුරට දායාද කිරීමේ වැඩපිළිවෙළහි ශක්තිමත් නියමුවන් ලෙස කටයුතු කරන ලෙසයි.
පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම්, එහි අධ්යක්ෂ ජනරාල් පද්මසිරි මූණමලේ යන මහත්වරු සහ පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරු, විදුහල්පතිවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.