
ඉරානයේ පවතින යුදමය සහ දේශපාලන වාතාවරණය මධ්‍යයේ, එරට ජාතික ගීය ගැයීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඉරාන රජයට හිතවාදී මාධ්‍ය විසින් "ද්‍රෝහීන්" ලෙස හඳුන්වනු ලැබූ ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පස්දෙනෙකුට 'මානුෂීය වීසා' (Humanitarian Visas) ලබා දීමට ඕස්ට්‍රේලියාව පියවර ගෙන තිබේ.
2026 ආසියානු කුසලාන තරගාවලිය අතරතුර ඉරාන රජයේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් මොවුන් ජාතික ගීය ගැයීමෙන් වැළකී සිටි අතර, ඉන් අනතුරුව ඔවුන්ට සිය රටට යාමට නොහැකි වන සේ ආරක්ෂක තර්ජන එල්ල විය.
කණ්ඩායම් නායිකා සහ්රා ගන්බාරි (Zahra Ghanbari), ෆාතිමා පසන්දිඩේ (Fatemeh Pasandideh), සහ්රා සර්බාලි අලිෂා (Zahra Sarbali), මෝනා හමූදි (Mona Hamoudi) සහ ආරක්ෂක ක්‍රීඩිකා අතේෆේ රමසානිසාඩේ (Atefeh Ramazanzadeh) යන පස්දෙනාට මෙලෙස රැකවරණය හිමි විය.
ඔවුනට රැකවරණය ලබාදෙමින්, ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රකාශ කර තිබුණේ, "මෙම ධෛර්ය සම්පන්න කාන්තාවන්ගේ ඉරණම පිළිබඳව ඕස්ට්‍රේලියානුවන් සංවේදී වුණා. ඔවුන් මෙහි සුරක්ෂිතයි," යනුවෙනි.
විදෙස් වාර්තාවන්ට අනුව, කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවන් දැනට ගෝල්ඩ් කෝස්ට් (Gold Coast) හි හෝටලයක රඳවා සිටින අතර, ඔවුන්ට ද අවශ්‍ය නම් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට අවස්ථාව ලබා දෙන බව එරට ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් පවසා තිබේ.