
මහා භාණ්ඩාගාරය හරහා ණය වාරිකයක් ගෙවීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් සිව් දෙනාගෙන් එක් අයෙක් සියදිවි හානි කරගෙන තිබෙනවා.
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ, මුදල් අමාත්‍යාංශය යටතේ ඇති විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ කුලියාපිටිය, පහළ වීරඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි රංග රාජපක්ෂ නම් අයයි.
පොලිසිය සඳහන් කළේ, ඔහු බල නහරවලට හානි කර ගැනීමෙන් සිය දිවි හානි කරගෙන ඇති බවත් ය.
අද (අප්‍රේල් 30) පෙරවරු 10.00ට පමණ ඔහු 'වත්ත පහළ වැඩක් ඇති' බව නිවැසියන්ට පවසා ගොස් ඇති බවත්, පසුව ඔහු නිවසට නොපැමිණි නිසා එහි ගොස් බලන විට ඔහු කෙසෙල් පඳුරක් අසල වැටී සිටින අයුරු නිවැසියන් දැක ඇති බවත් වාර්තා වේ.
ණය වාරිකයක් ගෙවීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහු ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පසුගියදා මුදල් අමාත්‍යාංශය පියවර ගන්නා ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් මෙම නිලධාරියාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අවස්ථා කිහිපයකදී දැනුම් දී තිබුණ ද, ඔහු ඊට ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත් සඳහන්.
සිය දිවි හානි කර ගත් රංග රාජපක්ෂ මහතා, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකි.
මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.