
මීට වසර දොළහකට පමණ පෙර සිදු කරනු ලැබූ ප්‍රකාශයකින් ඉස්ලාම් දහමට නින්දාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද (30) අධි චෝදනා භාර දුන්නා. මීට පෙර අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ සිතාසියයකට අනුව විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණය හමුවේ අද පෙනී සිටියා. ඉන් අනතුරුව විත්තිකාර ස්වාමීන් වහන්සේගේ ඇඟිලි සලකුණු ලබා ගෙන වාර්තාවක් කැඳවන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා විත්තිකරු රුපියල් ලක්ෂ 05 ක පුද්ගලික ඇපයක් මත මුදා හරින ලෙසත් නියම කළා. එමෙන්ම මෙම නඩුකරයට අදාළ මුල් නඩු ගොනුව කැඳවීමට පියවර ගන්න ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කර සිටියා. ඊට අමතරව මෙම සිද්ධියෙන් අගතියට පත්වුවන්ට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියම කළා. ඉන් අනතුරුව නඩුව ජුනි මස 01 වැනිදා කැඳවන ලෙසත් අධිකරණය නියම කළා. 2014 වසරේ අප්‍රේල් මස 12 වනදා විල්පත්තු ප්‍රදේශයේ සිදු කරනු ලැබූ නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් විත්තිකාර ස්වාමීන් වහන්සේ සිදු කරන ලද ප්‍රකාශයකින් ඉස්ලාම් ආගමට නින්දාවක් සිදුකර ලංකා දණ්ඩ නීති සංග්‍රහය 219 (ආ) යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.