
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරට දකුණින් පිහිටි, ඇමරිකානු හමුදා රඳවා සිටින අල්-දාෆ්රා (al-Dhafra) ගුවන් කඳවුර ඉලක්ක කරගනිමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අද (මාර්තු 15) ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඉරාන පුවත් ඒජන්සි වාර්තා කරන පරිදි, මෙම ප්‍රහාරය සඳහා මිසයිල 10ක් සහ ඩ්‍රෝන යානා භාවිතා කර ඇත.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවසන්නේ අල්-දාෆ්රා කඳවුරේ පිහිටි ඇමරිකානු පේට්‍රියට් (Patriot) රේඩාර් පද්ධති, පාලන කුළුණ සහ ගුවන් යානා අංගන වෙත මෙම ප්‍රහාර එල්ල කළ බවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක පද්ධති මගින් මිසයිල කිහිපයක් අහසේදීම විනාශ කර ඇති නමුත්, එහි සුන්බුන් අබුඩාබි නුවර අවට නේවාසික ප්‍රදේශවලට පතිත වී ඇති බව වාර්තා වේ.
ප්‍රහාරයත් සමඟ අබුඩාබි සහ ඩුබායි නගරවල විශාල පිපිරුම් හඬවල් ඇසුණු බවත්, ෆුජයිරා ආසන්නයේ තෙල් ගබඩාවක ගින්නක් ද හටගෙන ඇති බවත් සඳහන්.