
ඊශ්‍රායල හමුදා විසින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් විදේශීය ක්‍රියාකාරීන් 430 දෙනෙකු පමණ වහාම රටින් පිටුවහල් කිරීමට ඊශ්‍රායලය කටයුතු කරමින් සිටින බව 'Adalah' මානව හිමිකම් සංවිධානය පවසයි.
මෙම පිරිස අතරට ලාංකික මානව හිමිකම් ක්‍රියාකාරිණියක් වන 'සමීරා මෙහෙබුදීන්' ද අයත්ය.
ඔවුන්ගෙන් බහුතරයක් දකුණු ඊශ්‍රායලයේ 'රමොන්' (Ramon) ගුවන්තොටුපළ වෙත ද, ඉතිරි පිරිස ටෙල් අවිව් හි 'බෙන් ගුරියන්' (Ben Gurion) ගුවන් තොටුපළ වෙත ද ප්‍රවාහනය කරමින් ඇති බවත් සඳහන්.
පසුගියදා ඊශ්‍රායල බලකායන් විසින් ගාසා තීරය බලා යාත්‍රා කරමින් තිබූ ''ග්ලෝබල් සමුද් ෆ්ලෝටියා'' (Global Sumud Flotilla) සමූහයට අයත් බෝට්ටු 50කට අධික සංඛ්‍යාවක් වටලා එහි සිටි පිරිස් අත්අඩංගුවට ගන්නා ලදී.
ඊශ්‍රායලයේ අන්ත දක්ෂිණාංශික ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමාරු බෙන්-ග්වීර් (Itamar Ben-Gvir) විසින්, දණගසා දෑත් පිටුපසට තබා බැඳ සිටි ක්‍රියාකාරීන් සහිත වීඩියෝවක් 'X' හි පළ කිරීමත් සමඟ මේ පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් දැඩි විරෝධයක් එල්ල විය.
මේ හේතුවෙන් ප්‍රංශය, කැනඩාව, ස්පාඤ්ඤය, පෘතුගාලය සහ නෙදර්ලන්තය යන රටවල් තම අගනුවරවල සිටින ඊශ්‍රායල තානාපතිවරුන් කැඳවා දැඩි අප්‍රසාදය පළ කිරීමට ද කටයුතු කර තිබිණ.
යුරෝපීය කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්තා (Antonio Costa) ද මෙය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි හැසිරීමක් බව අවධාරණය කරන ලදී.
ස්පාඤ්ඤය, බ්‍රසීලය සහ ඉන්දියාව ඇතුළු රටවල් 10ක විදේශ අමාත්‍යවරුන් මෙම ක්‍රියාව ජාත්‍යන්තර මානුෂීය නීති ඍජුව උල්ලංඝනය කිරීමක් ලෙස හෙළා දැක ඇත.
තුර්කිය සහ ජෝර්දානය වැනි රටවල් වහාම ක්‍රියාත්මක වී තම පුරවැසියන් නැවත සිය රටවලට ගෙන්වා ගැනීමට විශේෂ ගුවන් ගමන් සහ දේශසීමා හරස් මාර්ග සම්බන්ධීකරණය කර ඇති බවත් සඳහන්.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ද දැඩි කනස්සල්ල සහ සංවේගය පළ කර තිබේ.
ඒ අනුව බලපෑමට ලක් වූ ශ්‍රී ලාංකික තරුණියක වන සමීරා මෙහෙබුදීන්ගේ ආරක්ෂාව, යහපැවැත්ම සහ ගෞරවය සහතික කිරීම සහ කඩිනමින් සහ ආරක්ෂිතව මෙරටට නැවත ගෙන්වාගැනීමට කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනය කර තිබේ.
ඊට ඇතුළත් වන ක්ෂණික කොන්සියුලර් සහාය සහතික කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය, දැනටමත් රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් සිටින බව ද එම නිවේදනයේ සඳහන්.
අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ, විදේශයන්හි සිටින සිය පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය මුළුමනින්ම කැපවී කටයුතු කරන බවයි.