
කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව සිදුවන සාහසික අපරාධවල නිරත වන්නන්ට නීතිය ඉදිරියේ උපරිම දඬුවම් ලබා දීමට තමිල්නාඩු රජය කැපවන බව, නව මහ ඇමති ජෝසප් විජේ පවසනවා.
'X' පණිවුඩයක් තබමින්, ජෝසප් විජේ මේ බව සඳහන් කර තිබුණේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිම්බතූර් (Coimbatore) හි සිදුවූ 10 හැවිරිදි දැරියකගේ ඝාතන සිදුවීමට අදාළවයි.
තමිල්නාඩුවේ කොයිම්බතූර්, සුලූර් (Sulur) ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි බාලවයස්කාර දැරියක පසුගිය බ්‍රහස්පතින්දා සවස නිවස අසල කඩයකට ගිය අවස්ථාවේදී පැහැරගෙන ගොස් ඝාතනය කර තිබේ.
දැරියගේ සිරුර තුවාල සහිතව වැවක් අසල තිබියදී ඊයේ (මැයි 22) සොයාගෙන තිබෙනවා. එමෙන්ම මෙම ඝාතනය සම්බන්ධයෙන් 'කාර්තික්' සහ 'මෝහන් රාජ්' නැමැති සැකකරුවන් දෙදෙනෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්.
මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් දැඩි කනගාටුව පළ කරමින් තමිල්නාඩු නව ප්‍රධාන අමාත්‍ය සී. ජෝසප් විජේ (C. Joseph Vijay) විසින් 'X' පණිවිඩයක් නිකුත් කර තිබේ.
ඒ, මෙවැනි අමානුෂික සහ සමාව දිය නොහැකි අපරාධ කිසිසේත්ම නොඉවසන බව අවධාරණය කරමින්.
එමෙන්ම යුක්තිය ඉටුකරන ලෙස සහ ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ඍජු මැදිහත්වීමක් ලැබෙන තෙක් දැරියගේ දේහය භාර නොගන්නා බව පවසමින් මියගිය දැරියගේ දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් සුලූර් පොලිස් ස්ථානය ඉදිරිපිට සහ මාර්ග අවහිර කරමින් දැවැන්ත විරෝධතාවයක ද නිරතව තිබේ.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන්, ප්‍රධාන විපක්ෂය වන DMK පක්ෂය වත්මන් විජේගේ TVK රජයට දැඩි ලෙස චෝදනා එල්ල කරමින් සිටියි.
ඒ අනුව විපක්ෂ නායක 'උදයනිධි ස්ටාලින්' ප්‍රකාශ කර ඇත්තේ, නව රජය බලයට පත්වූ දින 12ක් ඇතුළත ලිංගික ප්රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මෙම දැරියගේ ඝාතනය ඇතුළු ප්‍රධාන පෙළේ අපරාධ 30කට වඩා සිදුව ඇති බවත්, ප්‍රාන්තයේ නීතිය හා සාමය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවයි.
කෙසේ වෙතත්, භාරතීය ජනතා පක්ෂයේ (BJP) නායක නාරායනන් තිරුපති මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර ඇත්තේ, මීට පෙර පැවති එම්. කේ. ස්ටාලින්ගේ DMK පාලනය විසින් තමිල්නාඩුවේ නීතිය හා සාමය සම්පූර්ණයෙන්ම විනාශ කර දමා තිබීමේ ප්‍රතිඵල වත්මන් රජයට ද විඳීමට සිදුව ඇති බවයි.