
කලා සම්ප්‍රදායන් පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති සහ ඒවායේ වටිනාකම හඳුනාගත් පරම්පරාවක් බිහි කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම රජයේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.
මිනිසුන් අතර සහකම්පනය, සංහිඳියාව සහ සාමය වර්ධනය කරන මෙන්ම අන් අයගේ වේදනාව හඳුනාගෙන විවිධත්වයට ගරු කිරීමට මඟ පෙන්වන කලාවක් බිහිවිය යුතු බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී නොවැම්බර් 22 දා පැවති 'සාම මුද්‍රා නාට්‍යයේ' 40 වසරක ගමන් මඟ සැමරීම සහ එහි ප්‍රවීණයන් ඇගයීමේ 'TRIBUTE TO LEGENDS' උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මෙහිදී කලාකීර්ති රවිබන්දු විද්‍යාපති, මහාචාර්ය මුදියන්සේ දිසානායක, ආචාර්ය චන්න විජේවර්ධන සහ සාම මුද්‍රා නාට්‍යයේ පුරෝගාමියෙකු වන නවීන් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු එහි ශිල්පීන්ගේ කලා මෙහෙවර අගයමින් අග්‍රාමාත්‍යවරිය අතින් සම්මාන ප්රදානය කෙරිණි.
සාම මුද්‍රා නාට්‍යයේ 40 වසරක ගමන් මඟ අනුස්මරණය කරමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මඟින් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදු විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, වසර 40ක් පුරා 'සාම මුද්‍රා නාට්‍යය' සමඟ ගොඩනැඟුණු ගමන් මඟ හුදු ඉතිහාසයක් නොව, සාමය සහ සහජීවනය පිළිබඳ අදහස කලාව ඔස්සේ සමාජගත කළ දීර්ඝකාලීන කලා මෙහෙවරක් බවයි.
1985 වසරේදී නවීන් ගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ වූ මෙම නිර්මාණය මෙරට නර්තන කලාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ බව ද ඇය පැවසුවාය.
දේශීය නර්තන ශිල්පීන්ට සිය හැකියාවන් ඔප්නංවා ගැනීමටත්, ජාත්‍යන්තර වේදිකාව දක්වා ගමන් කිරීමටත් අවස්ථා උදා වීම මෙන්ම දක්ෂ ශිල්පී පරම්පරාවක් බිහිවීම රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක් බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
භාෂාව, ජාතිය, ආගම සහ සංස්කෘතිය අනුව බෙදී සිටින මිනිසුන්ට කලාව තුළින් එකම මානුෂීය පණිවිඩයක් සන්නිවේදනය කළ හැකි බව ලෝකයට පෙන්වා දීමට සාම මුද්‍රා නාට්‍යය සමත් වූ බව ද ඇය සඳහන් කළාය.
අතිදක්ෂ නර්තන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසකගේ නිර්මාණ එකම වේදිකාවක දැකගත හැකි සුවිශේෂී අවස්ථාවක් වන මෙය, අතීත කලා මෙහෙවර ඇගයීමට පමණක් සීමා නොවී කලා උරුමය අනාගත පරපුර වෙත දායාද කිරීමේ වගකීම සිහිපත් කරන අවස්ථාවක් බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ මහතා ඇතුළු කලාකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.