
ශ්‍රී ලංකාවේ ධීවර හා තාක්ෂණික පීඨවලින් පිටවන උපාධිධාරී තරුණ තරුණියන්ට ජපානයේ ධීවර තාක්ෂණික ක්ෂේත්රයේ රැකියා අවස්ථා ලබාදීමට ජපාන රජය එකඟතාව පළ කර ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි.
ජපානයේ නිල සංචාරයක නිරත ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ජපානයේ කෘෂිකර්ම, වන විද්‍යා හා ධීවර රාජ්‍ය අමාත්‍ය (State Minister of Agriculture, Forestry and Fisheries) නෙමොටෝ යුකිනෝරි (Hon. NEMOTO Yukinori) මහතා අතර ඊයේ (02) ටෝකියෝ නුවර දී පැවති ප්‍රතිපත්තිමය මට්ටමේ විශේෂ සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇත.
මෙම වැඩපිළිවෙළ විදේශ රැකියා ක්ෂේත්රයට අදාළ ආයතන සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සම්බන්ධීකරණය කර කඩිනමින් ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය තීරණය කර ඇත.
දෙරට අතර ධීවර, ජලජීවී වගා සහ සාගර සම්පත් කළමනාකරණ ක්ෂේත්රවල සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ වූ අතර, ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර අගය එකතු කිරීමේ දාමය ප්‍රවර්ධනය කිරීම සහ ඒ සඳහා අවශ්‍ය ජපාන තාක්ෂණික සහාය ලබාගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
එමෙන්ම ජපාන වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර සඳහා පවතින ඉල්ලුම තවදුරටත් වර්ධනය කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමු විය.
ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්රය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කර ගෝලීය ප්‍රමිතීන්ට අනුව සංවර්ධනය කිරීම සඳහා ජපාන රජය ලබාදෙන සහාය මෙරට ආර්ථිකයට විශාල ශක්තියක් වනු ඇති බව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මෙහිදී අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක කුමාරසිංහ සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස යන මහත්වරුන් ද සහභාගී වූහ.