
තමන් ශ්‍රී ලාංකික මුස්ලිම්වරයකු ලෙස මෙරට බෞද්ධ උරුමයට හදවතින්ම ගරු කරන බවත්, ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් උරණ වීමට කිසිදු හේතුවක් නොමැති බවත් හිටපු අමාත්‍ය නීතිඥ අලි සබ්රි පවසනවා.
සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
ඔහු මෙම සටහන තබා තිබුණේ, 'මොහොමඩ් ෆසාල්' නමැත්තාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණයව පවතින මොහොතකය.
'මොහොමඩ් ෆසාල්' නමැත්තා "ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නෙවෙයි." මැයෙන් කළ ප්‍රකාශයක් මේ වන විට මහත් ආන්දෝලනයට තුඩු දී තිබේ.
හිටපු අමාත්‍ය නීතිඥ අලි සබ්රි සිය සටහන මඟින් අවධාරණය කර ඇත්තේ, අදාළ ප්‍රකාශය තමන් තරයේ හෙළා දකින බවයි.
එම සම්පූර්ණ සටහන පහතින්..
උපුටාගැනීමයි ;
''රත්නදීප ජන්ම භූමි
“රත්නදීප ජන්ම භූමි” යන පද ඇසෙන විට මගේ සිතට නැඟෙන්නේ මා උපන්, මගේ දරුවන් උපන්, අප කවුරුත් ආදරය කරන මේ රටයි. වෙනත් ඕනෑම ශ්‍රී ලාංකිකයකුට මෙන්ම, මේ රටේ මුස්ලිම් ජනතාවටත් “ශ්‍රී ලංකාව අපේ මව්බිමයි” යැයි එකම අභිමානයෙන් කියන්නට සම්පූර්ණ අයිතිය ඇත. ඒ අයිතියට කිසිවකුගේ අවසරයක් අවශ්‍ය නැත.
ශ්‍රී ලාංකික මුස්ලිම්වරයකු ලෙස මම මේ රටේ බෞද්ධ උරුමයට හදවතින්ම ගරු කරමි. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස හැඳින්වීම ගැන උරණ වීමට අපට කිසිදු හේතුවක් නැත. වසර දෙදහසකට අධික කාලයක් පුරා බුදුදහමෙන් පෝෂණය වූ මේ රටේ සංස්කෘතික උරුමයේ කොටස්කරුවකු වීම මටත් අභිමානයකි. ඒ උරුමයට ගරු කිරීමත්, මේ මව්බිමට මගේ ඇති අයිතිය ගැන අභිමානයෙන් කතා කිරීමත් මට එක සේ ස්වාභාවිකය.
මේ ආන්දෝලනයට තුඩු දුන් ප්‍රකාශය කළ තැනැත්තාට මම මෙය කෙළින්ම කියමි. ඔබට ඔබේ මතය පළ කිරීමට අයිතියක් ඇත. ඔබ තෝරාගත් වචනවල වගකීම ද ඔබ සතුය. තම ආගමට ගෞරවය අපේක්ෂා කරන කෙනකු අන් අය පූජනීය කොට සලකන දේට ද ඒ ගෞරවයම දැක්විය යුතුය. ඔබ කළ අගෞරවනීය ප්‍රකාශය මම තරයේ හෙළා දකිමි. ඔබ කතා කළේ ඔබ වෙනුවෙනි. මා වෙනුවෙන් හෝ මේ රටේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් හෝ කතා කිරීමට ඔබට වරමක් නැත. ඔබේ වචනවලින් සිත් රිදුණු අයගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමට තරම් නිහතමානී වන්න. මගේ ආගමේ නාමයෙන් මගේම රටවැසියන්ට අගෞරව කරන්නට කිසිවකු සිතන්නේ නම්, මගේ පිළිතුර පැහැදිලිය. මගේ නමින් නම් නොවේ!
මට නම් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හරය වඩාත් පැහැදිලි වන්නේ එහි 9, 10 සහ 12 වැනි ව්‍යවස්ථා එකට කියවන විටය. 9 වැනි ව්‍යවස්ථාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමා බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම රජයට පවරයි. ඒ වාක්‍යය තුළම සියලු ආගම්වල ආගමික නිදහස ද සහතික කරයි. 10 වැනි ව්‍යවස්ථාව සෑම අයකුගේම සිතීමේ, හෘදය සාක්ෂියේ සහ ආගමික නිදහස සුරකියි. 12 වැනි ව්‍යවස්ථාව නීතිය ඉදිරියේ සමානාත්මතාවත් නීතියේ සමාන රැකවරණයත් සහතික කරයි. මේ සමබරතාව රැකෙන්නේ එම වගන්තිවල අරුත අප එකිනෙකාට සලකන ආකාරයෙන් ද පෙනෙන විටය.
මේ ප්‍රකාශයෙන් සිත් රිදුණු මගේ බෞද්ධ සහෝදර සහෝදරියනි, ඔබේ හැඟීම් මට වැටහේ. ඔබෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ එක දෙයකි. එක් අයකුගේ වචන මුළු මුස්ලිම් ප්‍රජාවටම පහර දීමට හේතුවක් කරගන්න එපා. ඔබේ මඟුලටත් අවමඟුලටත් පැමිණි, කරදරයකදී ඔබ ළඟින් සිටි මුස්ලිම් අසල්වැසියා ගැන මොහොතක් සිතන්න. ඔබ දෙදෙනාම නොහඳුනන කෙනකුගේ වචනවලට, වසර ගණනක් තිස්සේ ඔබ අතර ගොඩනැඟුණු ඒ බැඳීම පළුදු කරන්නට ඉඩ දෙන්නේ ඇයි?
දැන් ඇති. බෙදී වෙන්වීම නිසා මේ රට ගෙවා ඇති මිල හොඳටම ඇති. අපේ දරුවන් එකට ජීවත් වන්නට ඉගෙන ගන්නේ අද අප එකිනෙකාට සලකන හැටි දැකීමෙනි. මගේ දරුවකුටත් ඔබේ දරුවකුටත් එක ළඟ සිට “රත්නදීප ජන්ම භූමි” යැයි ගයන විට, තමන්ට මේ රට කෙතරම් අයිති දැයි මොහොතකටවත් සැකයක් ඇති නොවේවා.
මේ අප සැමගේ මව්බිමයි.''
උපුටාගැනීම අවසන්...
