
දිවයිනේ ප්රදේශ කිහිපයකදි මුහුදේ දිය නෑමට ගොස් සිදුවූ දිය අනතුරුවලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයන් පස්දෙනෙකුගේ දිවි බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සමත්ව තිබෙනවා.
ඊයේ (22) බෙන්තොට පොලිස් වසමට අයත් බෙන්තොට වෙරළ තීරයේ දියනෑමට ගිය තරුණයන් පස්දෙනෙකු දියවැලකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටියදී එක් තරුණයෙකු අතුරුදන්ව ඇත.
එහිදී වෙරළ තීරයේ ජීවිතාරක්ෂක රාජකාරියේ නිරතව සිටි බෙන්තොට පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් නිලධාරීන් විසින් අනෙක් තරුණයන් සිව්දෙනාගේ දිවි බේරාගෙන ඇත.
අතුරුදන් වූ තරුණයාගේ මළ සිරුර පසුව සොයාගෙන ඇති අතර, බේරාගත් තරුණයන් සිව්දෙනාට මූලික ප්රථමාධාර ලබාදීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා බෙන්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මියගිය තරුණයා 16 හැවිරිදි බේරුවල ප්රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.
අනතුරට ලක්වූ අනෙකුත් තරුණයන් ද වයස අවුරුදු 15ත් 20ත් අතර බේරුවල ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරනවා.
ඊයේ (22) සවස ගල්කිස්ස වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලෙමින් සිටියදී ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් බේරාගනු ලැබුවා.
පසුව ඔහුට මූලික ප්රථමාධාර ලබාදී වැඩිදුර ප්රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර, ප්රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා මියගොස් ඇති බව ගල්කිස්ස පොලිසිය පවසනවා.
මියගොස් ඇත්තේ 43 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර හික්කඩුව තීරනාගම වෙරළ තීරයේ දියනෑමට ගිය 64 හැවිරිදි ජර්මානු ජාතික කාන්තාවක් දියවැලකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන තිබෙනවා.
පසුව ඇයට මූලික ප්රථමාධාර ලබාදීමෙන් අනතුරුව ඥාතීන් වෙත භාරදීමට කටයුතු කර ඇත.