
පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර පිහිටි ෂියා මුස්ලිම් දේවස්ථානයකට (Khadija Tul Kubra Imambargah) ඊයේ (පෙබරවාරි 6) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන 31 දක්වා ඉහළ ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
ප්‍රහාරයෙන් පුද්ගලයන් 170 කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් සඳහන්.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දේවස්ථානය තුළ බැතිමතුන් 600 ත් 700 ත් අතර ප්‍රමාණයක් සිට ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව, ඉස්ලාමීය රාජ්‍ය (ISIS) සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ. ඒ, ප්‍රහාරකයාගේ නම සහ ඡායාරූපය ඇතුළත් ප්‍රකාශයක් නිකුත් කරමින්.
පසුගිය දශකයකට වැඩි කාලයක් තුළ පාකිස්ථාන අගනුවර සිදුවූ දරුණුතම ප්‍රහාරය වන්නේ මෙයයි.
විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව, ප්‍රහාරය සිදුව ඇත්තේ දේවස්ථානයේ යාඥාවන් ආරම්භ වීමත් සමඟයි.
තුවක්කුකරුවෙකු දේවස්ථානයේ දොරටුව අසලදී වෙඩි තබමින් ඇතුළු වීමට උත්සාහ ගෙන ඇති අතර, ආරක්ෂක අංශ ඔහුව වැළැක්වීමට උත්සාහ කිරීමේදී ඔහු දේවස්ථානයේ අවසන් පේළියේ සිටි බැතිමතුන් අතරට ගොස් බෝම්බය පුපුරුවාගෙන ඇත.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ මුලින් වෙඩි හඬ ඇසුණු බවත්, තත්පර කිහිපයකට පසු මහා පිපිරුම් හඬක් සමඟ මුළු පරිශ්‍රයම ලෙයින් වැසී ගිය බවත්ය.
ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් (Khawaja Asif) පවසා සිටියේ මෙම ප්‍රහාරකයා මීට පෙර ඇෆ්ගනිස්ථානයේ සංචාරය කර ඇති බවයි. එමෙන්ම කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකරමින් මෙම ප්‍රහාරයට ඉන්දියාව සම්බන්ධ බවට ද චෝදනා කර ඇත.
ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය විදේශ අමාත්‍යාංශය මෙම චෝදනා "පදනම් විරහිත" බව පවසමින් ප්‍රතික්ෂේප කර ඇති අතර ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක තිබේ.
උස්බෙකිස්තාන ජනාධිපතිවරයා නිල සංචාරයක් හේතුවෙන් අගනුවර දැඩි ආරක්ෂක රැකවල් යොදවා තිබියදී මෙම ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයකි.
මෙම ප්‍රහාරය සිදුවූයේ පාකිස්ථානය පුරා ප්රචණ්ඩ ක්‍රියා රැසක් වාර්තා වූ සතියක අවසානයේදීය.