
ඊයේ (මැයි 28) පැවැති සමුළුවකදී අදහස් දක්වමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ, ගාසා තීරයේ ඊශ්‍රායල මිලිටරි පාලනය 70% ක් දක්වා ව්‍යාප්ත කිරීමට තමන් ආරක්ෂක බලකායට (IDF) නියෝග කළ බවයි.
"අපි දැනටමත් ගාසා තීරයෙන් 60% ක ප්‍රදේශයක පාලනය තහවුරු කරගෙන තිබෙනවා. අපි පියවරෙන් පියවර ඉදිරියට යමු, මුලින්ම 70% සීමාවට ළඟා වෙමු" යැයි ඔහු පවසා තිබේ.
ඊශ්‍රායලය විසින් මෙලෙස ගාසා තීරයේ තම බලප්‍රදේශය පුළුල් කිරීම, 2025 ඔක්තෝබර් මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකඟ වූ සටන් විරාම කොන්දේසි සෘජුවම උල්ලංඝනය කිරීමකි.
එම ගිවිසුම අනුව ඊශ්‍රායලය පාලනය කිරීමට එකඟ වූයේ ගාසා තීරයෙන් 53% ක ප්‍රමාණයක් පමණක් වන අතර, ඔවුන් 'Yellow line' ලෙස හැඳින්වෙන සීමාව දක්වා පසුබැසීමට නියමිතව තිබුණි.
සටන් විරාමය ක්‍රියාත්මක වූ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා කාලය තුළ ද ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවන් 738 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඇමරිකාවේ මැදිහත්වීමෙන් සාම සැලසුම් ඉදිරියට ගෙනයාම සඳහා පැවැත්වෙන වක්‍ර සාකච්ඡා මේ වන විට අඩාල වී ඇත.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් (Israel Katz) ප්‍රකාශ කර ඇත්තේ හමාස් සංවිධානයට තවදුරටත් ගාසා තීරයේ සිවිල් හෝ මිලිටරි පාලනයක් හිමි නොවන බවත්, සුදුසු වේලාවකදී ගාසා වැසියන් "ස්වේච්ඡාවෙන් සංක්‍රමණය කරවීමේ සැලසුම" (Plan for voluntary emigration) ක්‍රියාත්මක කරන බවත්ය. (මෙය බලහත්කාරයෙන් සිවිල් වැසියන් අවතැන් කිරීමක් වන බැවින් යුද අපරාධයක් ලෙස සැලකිය හැකිය)
පසුගිය දින කිහිපය තුළ ද ඊශ්‍රායලය ගාසා තීරයට දරුණු ප්‍රහාර එල්ල කර තිබේ.
ඉකුත් බදාදා (27) රාත්‍රියේ ගාසා නගරයට එල්ල වූ ප්‍රහාරයකින් ළමුන් 5 දෙනෙකු ඇතුළු 10 දෙනෙක් මියගියහ.
එහිදී හමාස් බලඇණි අණදෙන නිලධාරියෙකු වන ඉමාඩ් අස්ලීම් (Imad Asleem) සහ ඔහුගේ දියණිය මියගොස් ඇත.
ඊට පෙර දින හමාස් මිලිටරි අංශයේ නව ප්‍රධානියා වන මොහොමඩ් ඔඩේ (Mohammed Odeh) ඔහුගේ බිරිඳ සහ පුතුන් දෙදෙනා සමඟ ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් විය.
2023 ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් (පුද්ගලයින් 1,200 ක් මියගොස් 251 ක් ප්‍රාණ ඇපයට ගැනීම) ආරම්භ වූ මෙම යුද්ධය හේතුවෙන් මේ වන විට ගාසා තීරයේ පලස්තීනුවන් 72,742 කු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 172,565 දෙනෙකු තුවාල ලබා ඇත.
මියගිය පිරිසෙන් අවම වශයෙන් 21,283 දෙනෙකුම කුඩා ළමුන් වේ.