
ලාඕසයේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි 'ෂයිසොම්බුන්' (Xaisomboun) ප්‍රාන්තයේ ගුහාවක් තුළ සිරවී සිටින ගම්වැසියන් හත් දෙනෙකු මුදාගැනීම සඳහා විශේෂ බේරාගැනීමේ කණ්ඩායම් දැඩි වෙහෙසක් දරමින් සිටියි.
පසුගිය බදාදා (මැයි 20) මෙම ගම්වැසියන් පිරිස රන් කැණීම් සඳහා මෙම ගුහාව තුළට ඇතුළු වී ඇති අතර, ඉන් අනතුරුව ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර තත්ත්වයක් හටගෙන ගුහාවෙන් පිටවන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.
ඔවුන් තවමත් ජීවතුන් අතර සිටින්නේද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවයි වාර්තා වන්නේ.
සහන කණ්ඩායම්වලට අනුව, සිරවී සිටින පිරිස වෙත ළඟා වීමට මීටර් 340 ක් දිගු උමගක් ඔස්සේ ගමන් කළ යුතුය.
එහි පටුම ස්ථානය සෙන්ටිමීටර 60 ක් (අඟල් 23 ක්) තරම් කුඩා බව සඳහන්.
ගුහාව තුළ ඔක්සිජන් මට්ටම සහ විෂ වායු පරීක්ෂා කිරීම සඳහා සහන කණ්ඩායම් විශේෂ වූ මෙහෙයුමක නිරතව සිටියි.
මෙම මෙහෙයුම සඳහා ලාඕස් සහ තායිලන්ත සහන කණ්ඩායම්වලට අමතරව සුවිශේෂී පිරිසක් එක්ව සිටින බවත් සඳහන්.
ඒ, 2018 වසරේදී තායිලන්තයේ 'තාම් ලුආන්ග්' (Tham Luang) ගුහාව තුළ සිරවූ කුඩා ළමුන්ගෙන් යුත් පාපන්දු කණ්ඩායම බේරාගැනීමේ සුප්‍රකට මෙහෙයුමට දායක වූ තායිලන්ත සහ ෆින්ලන්ත ජාතික ප්‍රවීණයින් වේ.
බලධාරීන් විසින් අවදානම් සහගත බැවින් මෙම ස්ථානයට නොයන ලෙස දිගින් දිගටම අනතුරු ඇඟවීම් කර තිබුණද, ප්‍රදේශවාසීන් නිරන්තරයෙන් රන් නිධි සෙවීම සඳහා මෙම ගුහාවට ඇතුළු වන බව වාර්තා වේ.
ගුහාව අවහිර වීමට පෙර ඉන් බේරී ආ එක් සාමාජිකයෙකු විසින් කරන ලද දැනුම්දීමකට අනුව මෙම මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.