
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ, හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ අරුණ ශ්‍රී චතුරංග යන අය අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, රුපියල් ලක්ෂ 5000ක (කෝටි 50) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මුදල රුපියල් ලක්ෂ 2000 (කෝටි 20) දක්වා අඩුකර එයින් අත්තිකාරමක් වශයෙන් රුපියල් ලක්ෂ 1200 (කෝටි 12) ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීම සම්බන්ධවයි.
මෙම අල්ලස් මුදල් ඉල්ලා, ලබාගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටා යන අයගේ ජීවිතය ආරක්ෂා කර දීම සඳහාත්, (ඝාතනය කිරීම වැළැක්වීම සඳහාත්), ඉහත සැකකරුගේ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කර දීම සඳහාත්, විමර්ශන කටයුතු වලින් සහ ඊට අදාළ කටයුතු වලින් නිදහස් කර දීම සඳහාත්, අවශ්‍ය කටයුතු කර දීම වෙනුවෙනි.
ඒ අනුව 2023 වර්ෂයේදී ඩුබායි රාජ්‍යයේදී, ඉහත සැකකරුගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති යන අයගෙන් මෙලෙස රුපියල් ලක්ෂ 5000 ක මුදලක් (කෝටි 50ක්) අල්ලස් වශයෙන් ඉල්ලා පසුව එම මුදල රුපියල් ලක්ෂ 2000 ක් (කෝටි 20ක්) දක්වා අඩුකර එම මුදලින් අත්තිකාරමක් වශයෙන් රුපියල් ලක්ෂ 1200 ක මුදලක් (කෝටි 12ක්) අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබිණ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.