
නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් මිලියන ගණනක
ඖෂධ තොගයක් සමඟ සැකකරුවන් පිරිසක් මීගමුව කොට්ඨාස
අපරාධ විමර්ශන කාර්යංශයෙන් අත්අඩංගුවටගෙන තිබෙනවා.
මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට
ලැබුණු තොරතුරකට අනුව ඊයේ (ජූනි 24) වන දින දුන්ගල්පිටිය
පොලිස් වසමේ පිටිපන ලෙල්ලම ආසන්න ප්රදේශයේ සිදුකළ
වැටලීමකදී, ඖෂධ තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු
අත්අඩංගුවට ගැනිමට හැකිවි තිබෙනවා.
මෙම ඖෂධ තොගය රුපියල් ලක්ෂ 483 කට ආසන්න වටිනාකමකින්
යුත් බව පොලිසිය පවසනවා.
පොලීසිය සඳහන් කළේ, අදාළ ඖෂධ තොගය තීරු බදු නොගෙවා,
නිසි අනුමැතියකින් හෝ තත්ත්ව පරීක්ෂාවකින් තොරව මුහුදු
මාර්ගයෙන් මෙරටට ගෙන්වා ඇති බවයි.
අනතුරුව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී, එම ඖෂධ තොගය
මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන
යාත්රා දෙකක් සහ එම යාත්රාවල ස්කීපර්වරුන් දෙදෙනෙකු ද
ඖෂධ තොගය ප්රවාහනය සඳහා යොදාගත් ලොරි රථය ද
පොලිස් භාරයට ගෙන දුන්ගල්පිටිය පොලිස් ස්ථානය වෙත
ඉදිරිපත් කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 31 ත් 49 ත්
අතර වයස් කාණ්ඩයේ පසුවන අතර, ඔවුන් මීගමුව සහ
මස්කෙළිය ප්රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් දුන්ගල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන
සිදුකරනවා.