
ඩෙංගු ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ජනාධිපති කාර්යාලය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් රාජ්‍ය හා පෞද්ගලික ආයතන, ඉදිකිරීම් භූමි, අත්හැර දමා ඇති ඉඩම් සහ නිවාස පරිශ්‍ර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන බවට පත්වීම වැළැක්වීමට දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබාදී තිබේ.
ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් නිකුත් කළ මෙම චක්‍රලේඛය අනුව,
සියලු රාජ්‍ය ආයතනවල ඩෙංගු මර්දන කමිටු පිහිටුවා මාසික වාර්තා ඉදිරිපත් කළ යුතුය.
පාසල්, පිරිවෙන්, ගුරු විද්‍යාල සහ විශ්වවිද්‍යාල පරිශ්‍ර සතියකට දෙවරක් පරීක්ෂා කර පිරිසිදු කළ යුතුය.
සිසුන් සංඛ්‍යාව අනුව පාසල් ඩෙංගු මර්දන කමිටු වහාම ස්ථාපිත කළ යුතුය.
මාර්ග දෙපස අපිරිසිදු කානු පද්ධති පිරිසිදු කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ අදාළ ආයතන වෙත උපදෙස් ලබාදී ඇත.
දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මෙහෙයවීමෙන් සෞඛ්‍ය අංශ, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව සමඟ ඒකාබද්ධ වැටලීම් ක්‍රියාත්මක කෙරේ.
ඩෙංගු මදුරුවන් බෝවන පරිදි නොසැලකිලිමත්ව පරිශ්‍ර පවත්වාගෙන යන රාජ්‍ය හා පෞද්ගලික ආයතන, ඉඩම් හිමියන් සහ සාමාන්‍ය ජනතාවට එරෙහිව සෞඛ්‍ය ආඥාපනත සහ පළාත් පාලන නීති යටතේ කිසිදු තරාතිරමකින් තොරව දැඩි නීතිය ක්‍රියාත්මක කරන බව අවධාරණය කර ඇත.
ඩෙංගු මර්දනය සඳහා අවශ්‍ය මානව හා භෞතික සම්පත් ලබාදීමට සියලු රාජ්‍ය ආයතන බැඳී සිටින බව ද ජනපති ලේකම්වරයා සඳහන් කරයි.