
විෂ මත්ද්රව්ය මුලිනුපුටා දැමීමේ, ජාතික මෙහෙයුම් ක්රියාත්මක කිරීමේ අරමුණින් යුතුව ක්රියාත්මක කෙරෙන දිස්ත්රික් මට්ටමේ හා ප්රාදේශීය මට්ටමේ කමිටු ස්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්රික්කයේ ඇල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ "රටම එකට" ප්රාදේශීය මෙහෙයුම් සභාව පිහිටුවීම අද(19) දින මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්ය නීතීඥ අමාත්ය සුනිල් වටගල මහතා සහ සංචාරක නියෝජ්ය අමාත්ය රුවන් රණසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ඇල්ල ප්රාදේශීය සභා ශ්රවණාගාරයේදී පැවැත්විණි.
පවතින නීතිය රටේ සැමට සමානව ක්රියාත්මක වන බවත් සැපයුම් ජාලය අඩපණ කර විෂ මත්ද්රව්ය ජාවාරම අවසන් කිරීමට ගත හැකි සියලු ක්රියාමාර්ග ගන්නා බවත් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයා මෙහිදී පැවසිය.
පසුගිය අයවැය මගින් සෑම දිස්ත්රික්කයකම දිස්ත්රික් පුනරුත්ථාපන මධ්යස්ථානයක් ආරම්භ කිරීමට ප්රතිපාදන වෙන්කර ඇති බවත් පුනරුත්ථාපන කඳවුරේ සිට නැවත සමාජගත වන පිරිස් මත්ද්රව්ය භාවිතා කිරීමෙන් ඈත් කිරීම සඳහා ජාතික තරුණ සේවා සභාව වෘත්තීය පුහුණු අධිකාරිය වැනි ආයතන හරහා වෘත්තීය පුහුණු අවස්ථා ලබාදීමට කටයුතු කරන බවත් කර්මාන්ත අමාත්යාංශය යටතේ එම පුහුණුලාභී පුරවැසියන් රැකියා ගත කිරීම හරහා ජාතික ආර්ථිකයට ඍජු ලෙස සම්බන්ධ කර ගැනීමට කටයුතු සැලසුම් කරමින් පවතින බවත් වැඩිදුරටත් කරුණු දක්වමින් ඒ මහතා ප්රකාශ කළේය.
මෙම අවස්ථාවට සම්බන්ධ වූ බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි රුවන් ප්රනාන්දු මහතා විසින් සඳහන් කළේ මේ වසර තුළ බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසයේ හෙරොයින් සම්බන්ධ වැටලීම් 592ක්, අයිස් මත්ද්රව්ය වැටලීම් 557ක්, ගංජා වැටලීම් 867ක් හා වෙනත් මත්ද්රව්ය 1041ක් වශයෙන් වැටලීම් සිදුකොට ඇති බවයි.
ඇල්ල ප්රාදේශීය මෙහෙයුම් සභාව ස්ථාපනය කිරීමේ අවස්ථාව සඳහා ඇල්ල ප්රාදේශීය සභා සභාපති වෙනුර මලින්ද දිසානායක ඇතුළු ප්රාදේශීය දේශපාලන නියෝජිතයින්, ඇල්ල වැඩ බලන ප්රාදේශීය ලේකම් ගයන් ඉන්දික පතිරණ, පොලිස් නිලධාරීන්, ප්රජා සවිබල ගැන්වීමේ නිලධාරීන්, ග්රාම නිලධාරීන්, මහජන ආරක්ෂක කමිටු සභාපතිවරුන්, ප්රජා ශක්ති සමිති සභාපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.