
අධිකරණය විසින් වරදකරුවන් කරපු 285 දෙනෙක් 2025 දිත් 49 දෙනෙක් 2026 දිත් නිදහස් කොට ඥානසාර හිමිට නිදහස ඉල්ලුවිට ජනාධිපතිවරයා නීතියේ ආධිපත්යය ගැන කතා කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක චෝදනා කරනවා.
අද නීතිය ක්රියාත්මක වෙන්නේ තෝරාගත් පිරිසකට බව පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (19) කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්ය සාකච්ඡාවේදී අදහස් දැක්වු එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා මෙසේ අදහස් පලකර සිටියා.
"ජනාධිපතිතුමා බදුල්ලෙදි කිව්වා අධිකරණ නියෝගවලට පිටින් එතුමා කිසිවක්
කරන්නේ නැහැ කියලා. මතක තියාගන්න අධිකරණය විසින් වරදකරුවන් කරපු
285 දෙනෙක් 2025 පෙබරවාරි 04 අනුර කුමාර නිදහස් කළා. අධිකරණය මගින්
වරදකරුවන් කරනු ලැබූ 49 දෙනෙක් 2026 පෙබරවාරි 04 අනුර කුමාර
ජනාධිපතිවරයා නිදහස් කළා. එහි ප්රතිඵලයක් ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට
ගෙදර යන්න සිද්ධ වුණා. ඔහුව ගෙදර යවපු එක අනීතිකයි, මෙයින් ඔහුගේ මානව
හිමිකම් උල්ලංඝණය වූ බව තහවුරු කර තිබුණත් මේ වනතෙක් ඔහුව ධුරයේ
ස්ථාපිත කර නැහැ. ඔහුගේ ධුරය ඩැහැගැනීමේ අරමුණින් ඇතැම් බන්ධනාගාර
නිලධාරීන් නීතිය අවභාවිතා කරමින් තිබෙන බව මෑතදී ඥානසාර හිමියන් හමු
වෙන්න ගිය නීතිවේදියා ඉතාම පැහැදිලිව තමන්ගේ YouTube නාලිකාවේ ප්රකාශ
කර තිබුණා.
මේක විහිළුවක්. ඥානසාර හිමිට විතරයි අධිකරණ නීතිය බලපාන්නේ. ඔහුට 285ක් 2025දී නිදහස් කරනකොට, 2026දී 49ක් නිදහස් කරනකොට ඒ නීති බලපෑවෙ නැද්ද කියලා අපි එතුමාගෙන් අහනවා.
ඊළඟ කරුණ තමයි අධිකරණ අපහාස. අධිකරණ අපහාස පිළිබඳව එතුමාගේ මන්ත්රීතුමියක් වන ලක්මාලි හේමචන්ද්ර මැතිනිය 2025 ඔක්තෝබර් මාසයේ කොළඹ සංවර්ධන සභා රැස්වීමේදී ප්රකාශ කරනවා. කැලණි වැලි දුම්රිය මාර්ගයට අවහිර වන නිවාස ඉවත් කරන්න ගියාම ඒකට උසාවි නියෝගයක් ගත්තාම, RDA එකත් දුම්රිය දෙපාර්තමේන්තුවත් ඇතුළු පිරිසුත් මේ මන්ත්රීතුමිය ඒ සභාවේ ඉඳගෙන කිව්වා 'කිසිම උසාවි නියෝගයක් ගණන් ගන්න එපා, අපේ නීතිය මෙතන තියෙන්නේ, අපිට ඕන විදිහට වැඩ කරන්නේ, කිසිම මිනිහෙක් අයින් කරන්න එපා' කියලා.
ඒ අවස්ථාවේදී වටගල නීතිඥ මහත්තයත්, මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යතුමාත් එතැන හිටියා. මේ ගැන පැමිණිල්ලක් කරලා තිබෙනවා අපේ සුගිෂ්වර බණ්ඩාර මහත්තයලා අධිකරණ සේවා මණ්ඩලයට. මේ වනතෙක් අනුර කුමාරට බැරි වුණා ලක්මාලි හේමචන්ද්රට විරුද්ධව නීතිය ක්රියාත්මක කරවන්න.
පසුගිය මැයි පළවෙනිදා තවත් විනිසුරුතුමාලා තුන්දෙනෙක්ගෙන් සමන්විත වෙන ගල්ලඟුරු ජනාධිපති කොමිෂන් සභාව. ඒ කොමිෂන් සභාව පත් කරලා තියෙන්නේ ජේවීපී කාරයෝ නිදහස් කරන්න, අනෙක් අයට දඬුවම් දෙන්න කියලා ප්රකාශයක් කළා. මේ ගැන මම එම කොමිෂන් සභාවට දියුරුම් ප්රකාශයක් මගින් ප්රකාශ කරලා තිබෙනවා උසාවියට අපහාස කිරීමේ නීතියත් ජනාධිපති කොමිෂන් සභා නීතියත් යටතේ තිලින සිල්වට යම් ක්රියාමාර්ගයක් ගන්න කියලා.
ඒ කොමිෂන් සභා වාර්තාව තාම නිකුත් වෙලා නැති නිසා ඒ ගැන මුකුත් කියන්න යන්නේ නෑ. නමුත් මතක තියාගන්න මේගොල්ලොත් උසාවියට අපහාස කරපු කට්ටිය, සැකපිට ඉන්න කට්ටිය. කිසිම නීතියක් ක්රියාත්මක වෙලා නැහැ.
ඊළඟට නිතරම මේ අනුර කුමාර දිසානායක මහත්තයා කියනවා නීතියේ ආධිපත්යය පිළිබඳව. නීතියේ ආධිපත්යය පිහිටුවලා තියෙනවා, හොරුන්ට දඬුවම් දෙනවා, තරාතිරම නොබලා කටයුතු කරනවා. මෙහෙම තමයි එතුමා කියන්නේ.
එතුමා බලයට ආවේ 2024 සැප්තැම්බර් 21. 2025 ජනවාරි 19ත් 31ත් අතරේ රහසිගත විදිහට කන්ටේනර් 323ක් වරායෙන් පිට කළා. ඒ පිටකිරීම පිළිබඳ සෙනෙවිරත්න වාර්තාවේ තිබෙනවා. මේක ලබා දුන්නා පොලීසියට විමර්ශනය කරන්න. අද වෙනකන් රහස් පොලීසියට බැරි වුණා ඒ ගැන හොයන්න. දැන් ඒ ගැන හොයලා වැඩක් නෑ. ඒකෙ තේරුම මොකක්ද? මේ පිටුපස අභිරහසක් තිබෙන බව. ඒකෙන් දෙකක් හම්බුණා මිද්දෙනියෙන්, ඒ දෙකේම තිබුණේ අයිස්. එහෙනම් අනෙක් ඒවා ගැන අපිට හිතාගන්න පුළුවන්.
ඊළඟට 2025 පෙබරවාරි නව වෙනිදා වඳුරෙක් පැන්නා කියලා විදුලිය ඇනහිටීමක් වුණා. කෝටි 400කට අධික ප්රමාණයක් රටට පාඩු වුණා. කිසිම පරීක්ෂණයක් අද වෙනකන් කළේ නැහැ, මොනම පරීක්ෂණයක් හෝ කාටවත් දඬුවම් දීමක් හෝ කළේ නැහැ. මේකද ජනාධිපතිතුමා කියන නීතියේ ආධිපත්යය?
ඊළඟට අපේ Free Lawyers සංවිධානය ප්රකාශයක් කළා මේ ඩොලර් මිලියන දෙකහමාරක් අතුරුදහන් වීම ගැන. ඒ සංවිධානය ප්රකාශ කළාට පස්සේ තමයි ඒ ගැන උසාවියට වාර්තාවක් ඉදිරිපත් කළේ, අපි මෙතන ඇවිල්ලා කරුණු දැක්වුවාට පස්සේ. අද වෙනකන් රහස් පොලීසියට බැරි වුණා මේ ඩොලර් මිලියන දෙකහමාරට වෙච්ච දේ හොයන්න. හර්ෂණ සූරියප්පෙරුම මුදල් ලේකම්, වීරසිංහ මහත්මයා මහ බැංකු අධිපති, අනුර කුමාර දිසානායක මුදල් ඇමති. මෙගොල්ලෝ තමයි මේකට වග කියන්න ඕන පිරිස.
අපි දන්නවා ලෝකයේ මූල්ය පද්ධති වැඩ කරන ආකාරය, SWIFT කියලා මූල්ය පද්ධති වැඩ කරන ආකාරයක් තියෙනවා, සෑම අන්තර්ජාතික ගනුදෙනුවක්ම මේ SWIFT එකේ සටහන් වෙනවා, ජාත්යන්තර බැංකු 21,000ක් ඒකට එකතු වෙලා තියෙනවා. මේක තත්පර ගානෙන් හොයන්න පුළුවන් එකක්. නමුත් අද වෙනකන් එය හොයාගෙන නැහැ.
ඔක්තෝබර් මාසේ 2025දී e-Visa වංචාව ගැන විධිමත් විගණකාධිපති වාර්තාවක් ආවා. ඒ වාර්තාවෙන් පෙන්නලා දුන්නා ඩොලර් මිලියන එකහමාරක ආදායම් බදු ගෙවලා නැහැ, ඩොලර් මිලියන හතහමාරකට වෙච්ච දෙයක් නැහැ, රටේ ජනතාවගේ විශේෂයෙන්ම සංචාරකයින්ගේ සල්ලි කිසියම් පිරිසක් අවභාවිතාවෙන් එළියට අරන් තිබෙනවා. අද වෙනකන් අනුර කුමාර දිසානායක ඒකට පියවර අරන් නැහැ. අපි දන්නවා හේතුව, ඒ ඉන්න මහ මොළකරුවෝ අනුර කුමාර දිසානායකගේ දේශපාලන සගයෝ.
ඊළඟට 2025 සැප්තැම්බර් මාසේ ඉදන් මේ සැප්තැම්බර් මාසය දක්වාම ගල්ලඟුරු නැව් 30ක් වංචා කිරීම ගැන චෝදනා එල්ල වුණා. ගත්ත පියවරක් නැහැ. කොමිෂන් සභාවකුත් දැම්මා තමයි, හැබැයි පියවර ගත්තේ නැහැ. අද මොකද වෙලා තියෙන්නේ? අද පුත්තලම බලාගාරය අඩපණ වෙලා තියෙනවා. පුත්තලම බලාගාරය අඩපණ වුණේ බාල ගල්ලඟුරු නිසා ඇතිවෙච්ච අළුවලින් යන්ත්ර සූත්ර අඩපණ වීම නිසාද කියලා ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්න ඕන. අද මෙතන පුදුම වැඩක් වෙන්නේ, මොනවා හරි ප්රශ්නයක් මතු වුණාම හොරුන්ටම දෙනවා පරීක්ෂණ කරන්න. දැන් ගල්අඟුරු වංචාව ගැන හොයන්න භාර දීලා තියෙන්නේ ඒ වංචාවේ චූදිතයන් හැටියට ඒ ජනාධිපති කොමිසම නම් කරපු පුද්ගලයෙකුට, දෙන්නෙකුට දීලා තියෙනවා මේ වාර්තාව බලන්න කියලා, මේ පාඩුව හොයන්න. ඒ නිසා ස්වාධීන ක්රියාවලියක් කරන්න ඕන.
මං දැක්කා ඊයේ නිවේදනයක් දාලා තියෙනවා. මේක හරි අපූරු නිවේදනයක්. අද ඉඳන් කරන්න යන මේ විදුලි කප්පාදුව ගැන. මොකක්ද මේකෙ තියෙන්නේ? 'නොරොච්චෝලෙ බලාගාරයෙන් පද්ධතියට මෙගාවොට් 810ක ධාරිතාවක් අහිමි වී ඇති බැවින් ඉදිරි දින කිහිපයේ ජනතාවට අවම බලපෑමක් වන ලෙස විදුලි සැපයුම නිසි කළමනාකරණයකින් සැපයීමට පියවර'. දැන් ලයිට් කපන්නේ නැහැ. ලයිට් කැපුවේ ඉස්සර වෙන ආණ්ඩු තියෙනකොට. දැන් තියෙන්නේ විදුලිය නිසි කළමනාකරණයකින් සැපයුම් කරන්න. ඔන්න දැන් ලයිට් කපන්නේ නැහැ.
අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවේ ලයිට් කපන්නේ නැහැ, හොරකම් වෙන්නේ නැහැ, අතපසු වීම් තමයි වෙන්නේ, ඒ වගේම නොදැනුවත්කමින් සිදුවෙන අපරාධ තමයි සිදුවෙන්නේ. ඒ වගේ නිසි කළමනාකාරීත්වයකින් විදුලිය සපයන්න තමයි යන්නේ.
බොහොම වගකීමෙන් කියනවා, මේ බලාගාරයේ යන්ත්ර තුනේම ඩයප්රම් කඩා වැටීම පසුපස අනුර කුමාර දිසානායකත්, සරත් රෙඩ්ඩිත් එකතු වෙලා කළ ගල් අඟුරු වංචාව නිසා යන්ත්රවලට ඇතිවෙච්ච බලපෑම පිළිබඳ හොයන්න ඔය ඇතුළෙන් කට්ටිය දාලා හරියන්නේ නැහැ. විධිමත් පිළිගත් ස්වාධීන විමර්ශනයක් කළ යුතුයි. ඒ වගේම පසුගිය ඔක්තෝබර් 13 වෙනිදා සිදුවෙච්ච විදුලි අඩපණ වීමෙන් කෝටි 400කට වැඩිය රටේ ආර්ථිකයට හානි වුණා. කෝටි 400ක්! වහාම නිසි දඬුවම් දෙන්න කටයුතු කරන්න ඕන. නිකන් මේ ඇමතිවරු ඇවිල්ලා නිකන් කතා පවත්වල හරියන්නේ නැහැ තැන් තැන්වල’ මේ සම්බන්ධයෙන් නිසි පියවර ගන්න ඕන.
ඒ වගේම ඩීසල් වංචාවක් කළා රාජකරුණා. මේ ගැන අපි අඛණ්ඩව ප්රකාශ කර තිබෙනවා. GL පීරිස් මහත්තයලා, අපි ගිහිල්ලා රහස් පොලීසියට පැමිණිල්ලක් කළා ඒ ඩීසල් වංචාව ගැන. අද වෙනකන් ඒ ගැන පරීක්ෂණයක් නැහැ, කතාවක් නැහැ. අඩුම ගානේ මුන් බොරුවක් කළා කිව්වයි කියලා අපිට විරුද්ධව නඩුවක්වත් දාන්න කටයුතු කරලා නැහැ. පේනවාද එහෙනම් කවුද මේ පිටිපස්සේ ඉන්නේ කියලා.
ඊළඟට මේ මන්ත්රී වැටුප් සම්බන්ධයෙන්, රාජ්ය අරමුදල් අවභාවිතා කිරීම ගැන පැමිණිල්ලක් තියෙනවා මේ මන්ත්රීන් 159 දෙනාට. අද වෙනකන් විමර්ශනයක් නැහැ. කථානායකවරයා තමන්ගේ රාජ්ය දේපල අවභාවිතා කිරීම ගැන අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් තියෙනවා, අද වෙනකන් ඔහුට විරුද්ධව ගත්ත පියවරක් නැහැ. මං මේ කිහිපයක් විතරයි කිව්වේ නීතියේ ආධිපත්යය මතක් කරන්න. මොකද ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ජාවාරම්කාරයින්ට කිසිඳු ආකාරයක නීතිය ක්රියාත්මක වීමක් නැහැ, අනෙක් සියලු දෙනාටම නීතිය ක්රියාත්මක වෙන රටක් තමයි තියෙන්නේ.
ඊළඟට මම කියන්න ඕනැ මේ ජනාධිපති සමාව ගැන. 1971 කැරැල්ල වෙලාවේ ඔස්මන්ඩ් ජයරත්න කොමිසම පත් කළා බණ්ඩාරනායක මැතිනිය. ඒ ඔස්මන්ඩ් ජයරත්න කොමිසමෙන් පස්සේ එතුමිය අවස්ථාව දුන්නා ඊට ප්රථම යටත් වෙන්න. 12,000ක් යටත් වුණා. ඒ පිරිසට ජයවර්ධන ජනාධිපතිතුමා සමාව දුන්නා. ඒ සමාව දීපු පිරිස් අදටත් ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නවා. ඒ නිසා මේ ජනාධිපති සමාව, අධිකරණ කතා මොනවාත් කියන්න ඒගොල්ලන්ට අයිතියක් නැහැ.
87-89 විශාල පිරිසක් යටත් වුණා. 18,000කට අධික විශාල පිරිසක් අත්අඩංගුවට ගත්තා. අතිවිශාල පිරිසක් මියගියා, අතුරුදහන් වුණා. ඒ අවස්ථාවේදී රණසිංහ ප්රේමදාස මැතිතුමා අද මේ මගේ වම් පැත්තේ ඉන්න GL පීරිස් මැතිතුමාව පත් කළා තරුණ අසහන කොමිසම් වාර්තාවක් ගන්න. ඒ වාර්තාව අනුව යමින් සමාව දුන්නා.
ඒ සමාව ලබපු අය තමයි ටිල්වින් සිල්වා මහත්තයලා එහෙම. ඒ වගේම අපරාධ කරලා හැංගිලා ඉඳලා දේශපාලනය කරපු අයත් ඉන්නවා, ඒ තමයි අනුර කුමාර දිසානායක මහත්තයලා. ඒ නිසා මතක තියාගන්න ජනාධිපතිතුමා, විජිත හේරත්, බිමල් රත්නායක, ටිල්වින් සිල්වා මැතිතුමා වැනි 1987-1989 කාලයේ 6,661ක් ඝාතනය කරන්න සහ රාජ්ය දේපල අතිවිශාල ප්රමාණයක් විනාශ කරන්න දායක වෙච්ච ඔබ අද ඉන්නේ ජනතාවගේ පැත්තෙන් සැකපිට, ජනතාවගේ පැත්තෙන් ඇපපිට.
දිනක් එනවා ඔබලටත් මේ රටේ ජනතාව වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරන්න. ඒ දවස දක්වාම අපි මේ අරගලය කරගෙන යන බව ඔභට මතක් කරන්න ඕන.
අනිත් වැදගත්ම කාරණය තමයි මේ කරන්නේ ශිෂ්ටාචාරයේ පතුල බිඳ දැමීමයි. ඕනෑම සමාජයකට සංස්කෘතිකමය වශයෙන්, ආගමික වශයෙන්, දාර්ශනිකමය වශයෙන් ශිෂ්ටාචාරමය පසුබිමක් තියෙනවා. ඒ පදනම පසුබිම බිඳ දැමීම තමයි මෙහි අරමුණ. ඒක තමයි සංඝ පාතාලය නවත්තනවා ආදී වශයෙන් ප්රකාශ කරන්නේ. මේක හැම කොමියුනිස්ට් පාලකයෙකුම කළා. සෝවියට් සංගමයේ කුලාක්යෝ මර්දනය කරනවා කිව්වා, රුසියාවේ ඕතඩොක්ස් පල්ලිය තහනම් කළා, පල්ලිවල කම්කරුවන්ගේ සෞඛ්ය මධ්යස්ථාන ඉදි කළා ඔය මොස්කව්වල එහෙම, එහෙම කරලා විශාල ව්යසනයක් කළා. රුසියානු ජනතාවට ඒක අවබෝධ වෙන්න අවුරුදු 70ක් විතර ගියා.
චීනයේ 60 දශකයේ සංස්කෘතික විප්ලවයක් කියලා මහා විලම්බීතයක් කළා. අද ඒ චීන ජනතාව, චීන සමාජය ඒ ගැන කම්පා වෙනවා. ඒක බොහොම ඉක්මනටම ඩෙන් ෂියාඕපිං අවුරුදු 10ක් ඇතුළත ආපහු හැරෙව්වා. ඊළඟට කාම්බේජියාවේ පොල්පොට්, මේ විදිහටම ශිෂ්ටාචාරය බිඳ දැම්මා. අද කාම්බෝජියා ජනතාවට ඒවා අතීතයේ ඉතුරු වෙලා තියෙන කාරණා විතරයි. ඒ විතරක් නෙවෙයි, මේ වැඩේ ප්රභාකරනුත් කළා උතුරේ දෙමළ සමාජයට. භයානක විදිහට ඒ තිබිච්ච ශිෂ්ටාචාරමය පසුබිම, පදනම බිඳ දැම්මා. අදටත් ඒ දෙමළ සමාජය ඒකට වන්දි ගෙවමින් ඉන්නවා.
ඒ වගේම මම අනතුරු අඟවනවා ඔය පසුගියදා ජනතාවගේ අරමුණු වෙනුවෙන් කියලා ආපු පෙරහැර, මේක හිට්ලර්ගේ දුඹුරු කමිස හමුදාව, මේක මුසෝලිනිගේ කළු කමිස හමුදාව වගේ මේ අය හදාගෙන තියෙන මේ රතු ජුන්ටාවේ ක්රියාවලියක්. මේ ක්රියාවලිය හරහා ඉදිරියේදී සාමකාමී උද්ඝෝෂණ වලක්වන්න තමන්ගේ කාඩර්වරු අද 3,000කට වැඩිය පඩි ලබන කාඩර්වරු, ඒ වගේම මන්ත්රීවරු ඉන්නවා 2,000-3,000ක්, ආධාරකාරයෝ ඉන්නවා. ඒ නිසා මේගොල්ලන්ට රැස්වීම් පවත්වන එක, සෙනඟ ගෙන්නන එක මේගොල්ලන්ට ප්රශ්නයක් නෙවෙයි. සාමාන්ය ජනයා අද එතන නැහැ.
හැබැයි මම එතුමාට මතක් කරනවා මහින්ද රාජපක්ෂ මහත්තයාටත් ඔය වැරැද්ද වුණා 2022 මැයි 09 වෙනිදා. ඒ වැරැද්ද ඔබත් කරගන්නවා, ඔබට මේ කාඩර්වරු පාරට ගෙනෙන්න සිදුවීමෙන්ම පෙනී යන්නේ මහජනයා ඉදිරියේ ඔබ පත් වෙලා තියෙන අන්ත අසරණ ස්වභාවයයි. ඒ නිසා ඔහුගේ රැකවරණයට අද පොලීසිය, විමර්ශන අංශ සහ මේ දුඹුරු කමිසකාරයෝ හැටියට ලංකාව තුළ ඉන්න මේ කාඩර් කල්ලිය තියාගෙන හදාගෙන ඉන්න බංකරයක් ඇතුළෙ තමයි අනුර කුමාරට අද ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.
ඒක නිසා මේ රටේ ප්රජාතන්ත්රවාදය, ඒ වගේම මේ රටේ ශිෂ්ටාචාරය, සංස්කෘතිය අගයන සියලුම දෙනා, මේක ඥානසාර හිමියන්ගේ පුද්ගලික ප්රශ්නයක් නෙවෙයි, ඉන් ඔබ්බට ගිය බලගතු සංස්කෘතික අරගලයක්, ඒ අරගලයට එකතු වෙන්න කියලා අපි මේ රටේ සෑම සංස්කෘතියක්, ශිෂ්ටාචාරයක් ගැන හැඟීමක්, වගවීමක් තිබෙන, අනාගත පරපුර ගැන තැකීමක් තිබෙන සියලුම ආදරණීය මිනිසුන්ගෙන් ඉල්ලා සිටිනවා."