
බුදු දහමේ මෙත්තා, කරුණා සහ සහජීවනයේ සාරධර්ම වර්තමාන ලෝකය මුහුණ දෙන අර්බුද රැසකට විසඳුම් සපයන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති 27 වැනි ජාත්‍යන්තර වෙසක් දින සැමරුම අමතමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කළ අමාත්‍යවරයා, ලෝක සාමය සහ බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.
වෙසක් දිනයට ජාත්‍යන්තර පිළිගැනීම ලබාදීම සඳහා සම්මත වූ ඓතිහාසික එක්සත් ජාතීන්ගේ යෝජනාව සිහිපත් කළ අමාත්‍යවරයා, අන්‍යෝන්‍ය අවබෝධය සහ සංවාදය මත පදනම් වූ ජාත්‍යන්තර සබඳතා ගොඩනැගීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවට මෑතකදී පැමිණ සියලු සත්වයන් වෙත සාමයේ සහ සුභාශිංසනයේ පණිවුඩය රැගෙන ඓතිහාසික "සාම පාගමනක" නිරත වූ පූජ්‍ය භික්ෂු පඤ්ඤාකාර ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වෙත ද අමාත්‍යවරයා සිය ප්‍රණාමය පුද කළේය.
බුදුදහම ලොව පුරා ව්‍යාප්ත වීමත් සමඟ මිලියන සංඛ්‍යාත ජනතාව බෞද්ධ ඉගැන්වීම් අනුව සිය ජීවිත හැඩගස්වා ගත් බව සඳහන් කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව බුදුදහම සිය ජාතික අනන්‍යතාවයේ සහ සංස්කෘතියේ හදවත ලෙස සලකන බව ද ප්‍රකාශ කළේය.
එමෙන්ම ආර්ථික සංවර්ධනය, පරිසර සංරක්ෂණය, යහපාලනය සහ සමාජ සුභසාධනය අතර සමතුලිතතාවක් ඇති කරමින් සදාචාරාත්මක හා තිරසාර දැක්මකින් "Clean Sri Lanka" වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද හෙතෙම සඳහන් කළේය.
අවසානයේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ලෝක සාමය සහ සහජීවනය ගොඩනැගීම සඳහා මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා යන සතර බ්‍රහ්මවිහරණ ධර්මයන් මඟපෙන්වීමක් ලෙස යොදාගත යුතු බවත්, අර්බුද හමුවේ එකඟතාවට පැමිණීම හෝ නම්‍යශීලී වීම දුර්වලකමක් නොව ශක්තියක් ලෙස සැලකිය යුතු බවත්ය.