
බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බවට චෝදනා එල්ලව ඇති අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් විසින් දරන ලද 'මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය' හා 'අටමස්ථානාධිපති ධුරය' පිළිබඳව මහනුවර මල්වතු මහා විහාරය විසින් තීරණයක් ගෙන තිබේ.
ඒ, ඉහත තනතුරු ද්විත්වය දරන පල්ලේගම හේමරතන හිමි සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව පිළිබඳ අවධානය යොමු කොට මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාව විසින් අදාළ පාර්ශ්වයන් ද ගෙන්වා මේ සම්බන්ධයෙන් කරුණු විභාග කිරීමකින් අනතුරුවයි.
ඒ අනුව අද (30) දින රැස් වූ මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාවේ දී පල්ලේගම හේමරතන හිමිට එල්ල වී ඇති චෝදනාව පිළිබඳ පවතින අධිකරණ කටයුතු අවසන් වී ඒ පිළිබඳ අවසන් තීරණයක් ලැබෙන තෙක් මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව උන්වහන්සේ වෙත පත් කර ඇති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය අත්හිටුවීමට තීරණය කර තිබේ.
එමෙන්ම ගරුතර කාරක මහා සංඝ සභාවේ නියමය පරිදි අටමස්ථාන කමිටුව විසින් වත්මන් කමිටු සාමාජික උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක රුවන්වැලි චෛත්‍යාරාමාධිපති ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක හිමි, තාවකාලිකව අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා පත් කිරීමට තීරණය කර තිබේ.
