
යාපනයේ සිට නාගදීපය දක්වා පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා මුහුද හරහා විශේෂ ජලනල පද්ධතියක් ඉදිකිරීමට යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුව තීරණය කර තිබෙනවා. නාගදීප ප්‍රදේශයේ ජනතාව වසර ගණනාවක් තිස්සේ පිරිසිදු පානීය ජල හිඟතාවයෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බවට ලැබී ඇති ඉල්ලීම් හා පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා. 2026 ජන හා නිවාස සංගණන දත්ත අනුව නාගදීප ගම්මානයේ ජනගහනය 2,612 ක් වන අතර, 2050 වන විට එම සංඛ්‍යාව 3,000 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. එම ජනගහනයේ අවශ්‍යතා සපුරාලීම සඳහා දිනකට ඝන මීටර් 400 ක පමණ පිරිසිදු පානීය ජල ප්‍රමාණයක් අවශ්‍ය වන බව ද අදාළ ඇස්තමේන්තු මඟින් පෙන්වා දී ඇත. යාපනයේ දූපත් අතර වැඩිම ජනගහනයක් වාසය කරන්නේ ඩෙල්ෆ්ට් දූපතේ වන අතර, දෙවැනි වැඩිම ජනගහනය නාගදීපයේ වාසය කරන බව ද සඳහන්. මෙම ජලනල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් නාගදීප ජනතාවගේ දිගුකාලීන පානීය ජල ගැටලුවට තිරසාර විසඳුමක් ලබාදීමට හැකි වනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරනවා.