ලෝක ප්රකට ගායිකා ටේලර් ස්විෆ්ට්, අද ඇගේ 12 වන ස්ටුඩියෝ ඇල්බමය වන "The Life of a Showgirl" පිළිබඳව නිල වශයෙන් නිවේදනය කළා.
ඒ, ගෙවුණු පැය කිහිපය පුරා පැතිරුණු විවිධ කටකතා සහ රසික අනුමානයන්ගෙන් පසුව සිය පෙම්වතා වන ට්රැවිස් කෙල්සි සමඟ පොඩ්කාස්ට් කථාංගයකදීයි.
ඇල්බමයේ නිල නිකුත් කිරීමේ දිනය පසුව නිවේදනය කරන බව සඳහන්.
ටේලර් ස්විෆ්ට්ගේ නව ඇල්බමය පිළිබඳව වූ අනුමානයන් පැතිරෙන්න ගැනුණේ, ඇයගේ අලෙවිකරණ කණ්ඩායම විසින් ඡායාරූප 12ක් ද සමඟ "Thinking about when she said 'See you next era…" මැයෙන් පළකරන ලද සටහනත් සමඟයි.
පසුව, ඇගේ පෙම්වතා වන පාපන්දු ක්රීඩක ට්රැවිස් කෙල්සි (Travis Kelce), ටේලර් ස්විෆ්ට් ඔහුගේ "New Heights" පොඩ්කාස්ට් වැඩසටහනට ආරාධිතයෙකු ලෙස සහභාගී වන බව තහවුරු කර තිබුණා. නව ඇල්බමය පිළිබඳව මෙම නිල නිවේදනය පැමිණෙන්නේ ඒ අතරතුරයි.
ටේලර් ස්විෆ්ට්ගේ 11 වැනි ඇල්බමය වූ "The Tortured Poets Department" පසුගිය වසරේදී Spotify හි වාර්තා අලුත් කර තිබුණා.