
හිරු TV මාධ්‍ය නාලිකාව විසින් මාධ්‍ය නිදහස බරපතල ලෙස අවභාවිතා කිරීම සහ අසත්‍ය තොරතුරු බෙදාහැරීම සම්බන්ධයෙන්, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා සභාපතිවරයාගේ අත්සනින් යුතුව ජනමාධ්‍ය අමාත්‍යාංශයට ලිපියක් යොමුකර තිබේ.
ඒ, වගකීම් විරහිත මාධ්‍ය භාවිතය හේතුවෙන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කීර්ති නාමයට, ආයතනයට, රටේ ආර්ථිකයට සහ ජන සමාජයට සිදුවන හානිය වළක්වා ගැනීමට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉක්මන් මැදිහත්වීම අපේක්ෂාවෙනි.
මෙම ලිපිය, හිරු TV නාලිකාවේ පුවත් විකාශයෙන් “ශ්‍රී ලංකාව බොර තෙල් බැරලයකට ඇමරිකානු ඩොලර් 286ක අධික මිලක් ගෙවලා” යන මැයෙන් පළ කරන ලද පුවත හා බැඳේ.
ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සිය ලිපියෙන් අවධාරණය කරන්නේ, ජාත්‍යන්තර ප්රවෘත්ති වාර්තා විකෘති කරමින් ආනයනිත නිෂ්පාදන පිළිබඳ වැරදි තොරතුරු ද සහිතව එකී පුවත චෝදනාත්මක ස්වරූපයෙන් පලකරන ලද්දක් වන බවයි.
එමෙන්ම එම ගනුදෙනුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් සිදුකළැයි නොමග යවනසුළු ලෙස පළකර ඇතැයි ද එම ලිපියෙහි සඳහන්.
ශ්‍රී ලංකාවට බොරතෙල් ආනයනය සඳහා අවසරලත් එකම ආයතනය ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව බව කවුරුත් දන්නා කාරණයක් වන බවත්, ඉහත පුවත විකාශය කිරීම මඟින් අදාළ ගනුදෙනුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් සිදුකළ එකක් බවට සැකයකින් තොරව සිතාමතා ම හඟවා ඇති බවත් එම ලිපිය මඟින් පෙන්වා දී තිබේ.
ඒ අනුව, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරන්නේ අදාළ පුවත මුළුමනින්ම අසත්‍ය වන බවයි.
සංස්ථාව කිසිදු අවස්ථාවක බොර තෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 286 කට හෝ ඊට කිසි ලෙසකින් හෝ ආසන්න මිලකට මිල දී ගෙන නොමැති බව එහි සභාපතිවරයා මීට ඉහත ද මාධ්‍ය හමුවේ අවධාරණය කරන ලදී.
එම කරුණ මෙම ලිපිය මඟින් ද යළි අවධාරණය කර තිබේ.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මේ පිළිබඳ නිල මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබියදීත් හිරු TV නාලිකාව විසින් “ලාංකීය ගැනුම්කරුවෙක් ඩොලර් 286 කට බොරතෙල් බැරලයක් ගත්තා! CEO කී දේ HSBC මාධ්‍ය අංශයත් තහවුරු කරයි” යන මැයෙන් තවදුරටත් අසත්‍ය ප්‍රකාශය විකාශය කරමින් හිතාමතාම ජනතාව නොමග යැවීමට කටයුතු කළ බව මෙම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
HSBC ප්‍රධානියාගේ ප්‍රකාශය හිතාමතාම විකෘති කොට අසත්‍ය ප්‍රකාශයක් සමාජගත කරමින්, රට තුළ අර්බුදයක් නිර්මාණය කිරීමට මෙම මාධ්‍ය නාලිකාව කටයුතු කර ඇති බවයි සභාපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ.
එය චේතනාන්විත විෂමාචාරයක් මෙන්ම ද්වේශසහගත ලෙස සත්‍යය නොසළකා හැරීමක් වන බවත් සභාපතිවරයා අවධාරණය කර තිබේ.
මෙලෙස අසත්‍ය තොරතුරු සමාජගත කිරීම තුළින් ඉදිරියේ විශාල මිල වැඩිවීමක් සිදු වනු ඇති බවට මතයක් සමාජගතවීම සහ එමඟින් මහජන කැළඹීමක් ඇතිවීම, ජාතික වශයෙන් වැදගත්කමක් ඇති ආයතනයක් පිළිබඳ මහජන විශ්වාසය පළුදුවීම, සංස්ථාව පිළිබඳ ජාතික සහ ජාත්‍යන්තර කීර්ති නාමයට හානිවීම යනාදි අගතීන් රැසක් උද්ගත වන බවත් එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඒ අනුව, හිරු TV නාළිකාවේ මෙම ක්‍රියා කලාපය මාධ්‍ය නිදහස බරපතළ ලෙස අවභාවිතා කිරීමක් සහ ජනමාධ්‍ය ප්රමිතීන්, ආචාරර්ධම බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන බැවින් වහාම නියාමක අධික්ෂණයට ලක් කළ යුතුය යන්න ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සිය ලිපියෙන් අවධාරණය කර තිබේ.
එහිදී, හිරු TV නාළිකාව මෙම සාවද්‍ය පුවත විකාශනය කිරීම මගින් සිය විකාශන බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කර ඇත්දැයි වහාම විර්මශනයක් ආරම්භ කිරීම හා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් එහි සභාපතිවරයා ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියි.