
අද (02) සිට ලබන 10 වෙනිදා දක්වා ප්‍රදේශ රැසක ජල සැපයුම අදියර වශයෙන් අත්හිටුවීමට සැලැසුම් කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබෙනවා.
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ, දිගු කාලයක් ජල සැපයුම අත්හිටුවා ගැනීම වළක්වාලීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
ඒ අනුව බත්තරමුල්ල, පාමංකඩ, වැල්වත්ත සහ නාවල අවට ප්‍රදේශ සඳහා දිනක් හැර දිනක් රාත්‍රී 10.00 සිට පසුදින අලුයම 01.00 දක්වා පැය තුනක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.
මේ අතර, පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට අදිරය වශයෙන් පැය 24ක ජල කප්පාදුවක් සිදු කිරීමට කටයුතු කෙරේ.
ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී (බටහිර මධ්‍යම) දිස්නා පන්නිල මහත්මිය සඳහන් කළේ, ලබුගම කලටුවාව ජලාශයන්වල ජල නිෂ්පාදනය සීමාවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව පාදුක්ක ප්‍රදේශයට අද (02) රාත්‍රි 8.00 සිට හෙට (03) රාත්‍රි 8.00 දක්වා පැය 24ක ජල කප්පාදුවක් සිදු කෙරෙනු ඇත.
ඉන් අනතුරුව එම ප්‍රදේශ සඳහා දින හතරක කාලයක් සඳහා අඛණ්ඩව ජලය සැපයීමට කටයුතු කෙරේ.
නැවතත් අප්‍රේල් මස හත්වෙනිදා පාදුක්කට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.
අප්‍රේල් මස තුන්වෙනිදා රාත්‍රි 8.00 සිට හතරවෙනිදා රාත්‍රි 8.00 දක්වා පැය 24ක කාලයක් හෝමාගම ප්‍රදේශයට ජල කප්පාදුවක් සිදු කෙරේ.
අනතුරුව එම ප්‍රදේශයට දින හතරක් අඛණ්ඩව ජලය සැපයීමට පියවර ගනු ලබන අතර ඒ ප්‍රදේශ සඳහා යළිත් අටවෙනිදා ජල කප්පාදුවක් සිදු කරනු ඇති.
අප්‍රේල් මස හතරවෙනිදා රාත්‍රි 8.00 සිට පස්වෙනිදා රාත්‍රි 8.00 දක්වා පැය 24ක කාලයක් පැලැන්වත්ත ප්‍රදේශයට ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත අතර දින 4ක් අඛණ්ඩව එම ප්‍රදේශවලට ජලය ලබාදීමෙන් පසු නැවතත් 9වෙනිදා එම කලාපයට ජල සැපයීම අත්හිටවනු ඇති.