
ඇමරිකා එක්සත් ජනපදයෙන් ආරම්භ වූ ජාත්‍යන්තරව ඇගයීමට ලක්වූ “සාම පාගමන” - Walk for Peace වැඩසටහන අප්‍රේල් 21 වැනිදා සිට ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව පූජ්‍ය ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති හිමි සඳහන් කරයි.
අද (02) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති “සාම පාගමන” (Walk for Peace) වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ ඇතුළු දොළොස් නමකින් යුත් මහා සංඝරත්නයකගේ මූලිකත්වයෙන් මෙම පාගමන දින හතක් පුරා පැවැත්වීමට නියමිතය.
අප්‍රේල් මස අවසන් සතියේ ශ්‍රී ලංකාවේ ආරම්භ වීමට නියමිත මෙම සාම පාගමන ලෝකයට සාමයේ පණිවිඩය රැගෙන යන වැඩසටහනක් වන අතර, මෙය මෙරට ජනතාවට ලැබුණු ඓතිහාසික මෙන්ම සුවිශේෂී අවස්ථාවක් බවද උන්වහන්සේ සඳහන් කළහ.
මීට මාසයකට පමණ පෙර ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටන් දක්වා ප්‍රාන්ත 10ක් පමණ පසු කරමින් පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා රැසක් සාම පාගමනක් සිදුකළ බව සිහිපත් කළ පූජ්‍ය ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති හිමියන්, එහිදී බුදු දහමට ආගන්තුක රටක් වන ඇමරිකාවේ විශාල පිරිසක් සාමයේ පණිවිඩය ඇසීමට මග දෙපස රැස්වූ බව අවධාරණය කළේය.
තවද, බුදු දහමට ආගන්තුක රටක් වන ඇමරිකාව වැනි රටකට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් රජයේ මැදිහත්වීම යටතේ බෝධීන් වහන්සේගේ අංකුරයක් වඩම්මවා සංකේතාත්මකව සහ ඓතිහාසිකව රෝපණය කිරීමට අවස්ථාවක් උදාවී ඇති බවද උන්වහන්සේ පැවසීය.
එම නිසා මෙය සුළුපටු අවස්ථාවක් නොව ඉතාමත් වැදගත් ඓතිහාසික අවස්ථාවක් බව පෙන්වාදුන් විමලකිත්ති හිමියන්, එවැනි අවස්ථාවක් මෙරටට උදාවීම ඉමහත් ආඩම්බරයක් බවත්, පූජ්‍ය පඤ්ඤාකාර හිමියන් සිය ආරාධනය පිළිගෙන මෙරටට වැඩම කිරීම විශාල භාග්‍යයක් බවත් සඳහන් කළහ.
අප්‍රේල් 21 වැනිදා සාම පාගමන සඳහා පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා රැසක් මෙරටට වැඩම කරන අතර, උන්වහන්සේලා පැමිණි පසු ප්‍රථමයෙන් අත්තනගල්ල රජමහා විහාරයට ගමන් කරන බවත්, ඉන්පසු දහවල් දානය වැළඳීමෙන් අනතුරුව අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසට ගමන් කරන බවත් පැවසීය.
ශ්‍රී මහා බෝධියේදී මහා සංඝරත්නයේ ආශිර්වාදය අනුව බෝධි අංකුරයක් ලබාගනිමින් පා ගමනින් රුවන්වැලි සෑය දක්වා ගමන් කර එහිදී පූජා විධි පවත්වා උත්සවයක් සංවිධානය කරමින් අනුරාධපුර ජනතාව ආමන්ත්‍රණය කර සාමයේ පණිවිඩය ලබා දීමට නියමිත බවද සඳහන් කළේය.
එදින රාත්‍රියේ දඹුල්ලේ නවාතැන් ගෙන පසුවදා, එනම් අප්‍රේල් 22 වැනිදා පාගමන ආරම්භ කර 23 වැනිදා මහනුවරට ළඟා වන බවද උන්වහන්සේ පැවසීය.
ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයෙන් දියවඩන නිළමේතුමන්ගේ සහ අස්ගිරි හා මල්වතු උභය මහා විහාරයන්හි මහා නායක හිමිවරුන්ගේ ආශිර්වාදය ලබාගෙන පාගමන නැවත ආරම්භ කර මාවනැල්ල, කෑගල්ල, යක්කල සහ කැලණිය හරහා 27 වැනිදා සවස කැලණියට ළඟා වන බවද සඳහන් කළේය.
27 වැනිදා කැලණියේ රාත්‍රී නවාතැන් ගෙන 28 වැනිදා උදෑසන කැලණියෙන් කොළඹට පැමිණෙන අතර, කොළඹ නිදහස් චතුරස්රයේදී ජාතික උත්සවයක් පවත්වා මෙම පාගමන අවසන් කිරීමට නියමිත බවද පැවසීය. එම උත්සවය ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන අතර, එහිදී රාජතාන්ත්‍රික ක්‍රියාවලිය ආරම්භ කිරීමට නියමිත බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
අනුරාධපුරයෙන් වැඩම කරන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරය ජනාධිපතිවරයාගේ අතින් ඇමරිකාවෙන් වැඩම කරන මහා සංඝරත්නයට රාජතාන්ත්‍රික වශයෙන් භාරදීමද එම උත්සවයේදී සිදුකරන බව පෙන්වා දුන්නේය.
මෙය ඉතාම වැදගත් ඓතිහාසික උත්සවයක් බවට පත්වනු ඇති බව සඳහන් කළ පූජ්‍ය විමලකිත්ති හිමියන්, එම උත්සවය අවසන් වීමෙන් අනතුරුව හුණුපිටිය ගංගාරාම විහාරයට පෙරහැරකින් ධාතූන් වහන්සේලා සහ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරන බවද පැවසීය.
එහි තැන්පත් කර පළමුවැනිදා මෙරටින් පිටත්ව දෙවැනිදා ඇමරිකාවට ළඟා වන අතර, එහිදී විශේෂ පෙරහැරකින් ධම්මචේතිය පරිශ්‍රයට ගොස් තානාපතිවරුන්, නායක ස්වාමීන් වහන්සේලා, ඇමරිකාවේ වැඩසිටින මහා සංඝරත්නය සහ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සමාරම්භක උත්සවයක් පැවැත්වීමට නියමිත බවද සඳහන් කළේය.
එතැන් සිට ත්‍රිපිටක සජ්ඣායනාවක් 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එම කාලසීමාවේදී ශ්‍රී ලංකාවෙන් වැඩම කරන ධාතූන් වහන්සේලාගේ විශේෂ ප්රදර්ශනයක්ද සංවිධානය කර ඇති බවද උන්වහන්සේ පැවසීය.
එම උත්සවය අවසන් වීමෙන් අනතුරුව 15 වැනිදා ඇමරිකානු ජාතික වෙසක් උත්සවය පැවැත්වීමට නියමිත බවත්, ටෙක්සාස් ජනපදයේ ජනතාවට වෙසක් උත්සවය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පැවැත්වෙන පළමු වෙසක් උත්සවය මැයි 15 වැනිදා ඇමරිකාවේදී සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.