
ඇමරිකානු, චීන සහ රුසියානු නායකයින් අතර පැවති ත්‍රෛපාර්ශ්වික හමුව අවසන්ව ඇති අතර සාකච්ඡා පැවැත්වීමෙන් පසු ට්‍රම්ප් චීනයෙන් පිටව ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ආරම්භක ප්‍රකාශවලින් අනතුරුව ට්‍රම්ප්, ෂී සහ පුටින් පැය එකහමාරක පමණ කාලයක් සංවෘත සාකච්ඡාවල (closed-door talks) නිරතව සිටි බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් නොව නායකයින් විසින් ම සැලසුම් කරන ලද මෙම හමුව, එක් එක් නායකයා විවිධ අවශ්‍යතා සහ විවිධ අරමුණු ඇතිව සාකච්ඡා මේසයට පැමිණි බෙදුණු න්‍යාය පත්‍රයකින් යුක්ත වූවකි.
ත්‍රෛපාර්ශ්වික හමුවෙන් අනතුරුව චීනය, රුසියාව සහ ඇමරිකාව විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයේ විශේෂ කරුණු කිහිපයක් ද මේ වන විට අවදානයට ලක්ව තිබේ.
උපායමාර්ගික ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර ආරක්ෂාව තහවුරු කිරීමට ෂී, පුටින් සහ ට්‍රම්ප් කැපවී සිටින බව එහි සඳහන්.
බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව ඔවුන් සාකච්ඡා කළ බවත්, පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන නිපදවීම සහ සැපයීම වැඩි කිරීමට සැලසුම් කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.
එමෙන්ම ජාත්‍යන්තර අපරාධ අධිකරණය (International Criminal Court) සහ ඒ හා සමාන අනෙකුත් ආයතන සිය අධිකරණ බලය අනිසි ලෙස භාවිතා නොකළ යුතු බවට නායකයින් එකඟව තිබේ.
'න්‍යෂ්ටික යුද්ධයකින් ජයගත නොහැකි අතර එය කිසිදා නොකළ යුතු බවටත්, න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සංවාදය අඛණ්ඩව සිදුවෙමින් පවතින බවටත්' න්‍යෂ්ටික ගැටලුව සම්බන්ධයෙන් වූ සාකච්ඡාවේදී නායකයින් තිදෙනාගේ මතය වී තිබේ.
චීන රාජ්‍ය විකාශන ආයතනය වන CCTV (China Central Television) පවසන පරිදි, ජනාධිපති ෂී, පුටින් සහ ට්‍රම්ප් සමඟ පැවති සිය හමුව "ධනාත්මක, ඵලදායී සහ අතිශයින්ම සාර්ථක" එකක් ලෙස විස්තර කර තිබේ.
දෙවන ලෝක සංග්‍රාමයේදී උරෙනුර ගැටී සටන් කළ ඉතිහාසය ද ෂී සිහිපත් කළ බවත්, ඉතා අසීරුවෙන් දිනාගත් සාමය අගය කිරීමේ වැදගත්කම නායකයින් තිදෙනා අවධාරණය කළ බවත් එම විකාශන ආයතනය පවසයි.
සියලුම ජාතීන්ගේ නීත්‍යානුකූල ආරක්ෂක ගැටලුවලට ප්‍රධාන බලවතුන් ගරු කළ යුතු බවටත්, "සංවාදය අඛණ්ඩව පවතින තාක් සහ ඒ සඳහා දොරටු විවෘතව පවතින තාක් සාමය පිළිබඳ බලාපොරොත්තුවක් ඇති" බවට තිදෙනා එකඟව ඇති බව CCTV වාර්තා කරයි.
"කතා කිරීමට ඇති අවස්ථා ප්‍රතික්ෂේප කිරීමෙන් කිසිදා සාමයක් ගොඩනැගී නැත. අපි සැබවින්ම ඉතිහාසය නිර්මාණය කරමින් සිටිමු." - ට්‍රම්ප්
1945 දී යාල්ටා (Yalta) සමුළුවේදී ජනාධිපති ෆ්රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්, බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් සහ සෝවියට් අගමැති ජෝසප් ස්ටාලින් පශ්චාත් යුද ලෝක රටාව හැඩගැස්වීමට රැස්වූ අවස්ථාවේ මෙන් නොව, මෙම හමුවේ ප්‍රසිද්ධ ඡායාරූපයේ මැද සිටියේ ඇමරිකානු නායකයා නොවේ.
මෙම හමුවේ මුලසුන හෙබවූ සත්කාරක ෂී ජින්පින්ට එම අසුන හිමිව තිබුණි.
"මහා බලවතුන් සාමයෙන් සිටින විට ලෝකය සුරක්ෂිත බව ඉතිහාසය අපට කියා දෙයි. මහා බලවතුන් ගැටෙන විට ලෝකය අවුල් ජාලාවක් වේ." - ෂී ජින්පින්
අවි පාලනය සහ ඉරානයේ සහ යුක්රේනයේ යුද්ධ ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබුණි.
"අන්‍යෝන්‍ය ගෞරවය, සමානාත්මතාවය සහ අවශ්‍යතාවල සමතුලිතතාවය මත පදනම්ව හවුල්කරුවන් ලෙස ඵලදායී ලෙස සහයෝගයෙන් කටයුතු කරන්නේ නම්, රුසියාව, චීනය සහ එක්සත් ජනපදය යන අපගේ ජනතාවට ලෝකයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දිය හැකි බව මට විශ්වාසයි" - පුටින්
මෙම ඓතිහාසික සමුළුව පැවැත්වෙන්නේ මධ්‍යවාර මැතිවරණයේදී ට්‍රම්ප් දැඩි පසුබෑමකට ලක්ව සති කිහිපයකට පසුවයි. එමෙන්ම ඉරානය සමඟ යුද්ධයක ඔහු පැටලී සිටින අවස්ථාවකයි.
ට්‍රම්ප් මෙම හමුව හඳුන්වාදී තිබුණේ, න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය පාලනය කිරීමේ උත්සාහයක් ලෙසයි.
එහෙත් ලොව විශාලතම න්‍යෂ්ටික බලවතුන් තිදෙනා අතර න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් ඉදිරියට ගෙන යනවා වෙනුවට, පුටින් සමුළුවට දිනකට පෙර න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි බෝම්බ හෙලන යානා අසල්වැසි වියට්නාමය වෙත යවමින් අභියෝගාත්මක පණිවිඩයක් ද ලබාදී තිබුණි.
ත්‍රෛපාර්ශ්වික හමුවේදී ව්ලැඩිමීර් පුටින් හට ඉහළම ගෞරවනීය අසුන ලබා දුන් බවට රුසියානු රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය වන 'Tass' නිවේදනය කර තිබේ.
චීනය, රුසියාව සහ එක්සත් ජනපදයේ නායකයින්ගේ ඉතිහාසයේ ප්‍රථම හමුවේ ප්‍රධාන කරුණු සාරාංශ කරමින්, ඔවුන් පෙන්වා දෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදායට අනුව ඉහළම ගෞරවනීය අසුන වන ෂීගේ දකුණු පසින් පුටින් අසුන් ගත් අතර, වම් පසින් ට්‍රම්ප් අසුන් ගත් බවයි.
එමෙන්ම ෂීගෙන් පසු වහාම පුටින් අදහස් දැක්වූ බවත්, ඉන් අනතුරුව ට්‍රම්ප් කතා කළ බවත් ටාස් පෙන්වා දෙයි.
එමෙන්ම පුටින්ගේ නියෝජිත පිරිස අතර මුදල්, විදේශ කටයුතු සහ ආරක්ෂක අමාත්‍යවරුන් ඇතුළු සියලුම ප්‍රධාන ක්ෂේත්රවල විශේෂඥයින් සිටි බවත් එම ඒජන්සිය සඳහන් කරයි.
කෙසේ නමුත් චීන සහ ඇමරිකානු නියෝජිත පිරිස්වල නිලධාරීන් ද ඊට නොදෙවෙනි ජ්යෙෂ්ඨත්වයකින් යුක්ත වූ බව එහි වැඩිදුරටත් සඳහන්.