
දකුණු ඉරාකයේ බස්රා (Basra) ප්‍රදේශයේ පිහිටි හර්තා (Hartha) විදුලි බලාගාරයේ හටගත් ගින්නකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 35 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරාක රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.
සෙනසුරාදා දිනයේදී හටගත් මෙම ගින්න බලාගාරය අවට පිහිටි නිවාස කිහිපයක් දක්වා පැතිර ගොස් තිබෙනවා.
ඉරාක ප්රවෘත්ති ඒජන්සිය (INA) වාර්තා කළේ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් බලාගාරයේ සහ ඒ අවට නිවාසවල පැතිර ගිය ගින්න පාලනය කිරීමට සමත්ව ඇති බවයි.
මෙම ගින්න හේතුවෙන් මෙගාවොට් 800ක විදුලි උත්පාදන ධාරිතාවයකින් යුත් හර්තා විදුලි බලාගාරයේ මෙහෙයුම් කටයුතු ද තාවකාලිකව නතර කිරීමට සිදුව තිබෙනවා.
ගින්න හටගත් අවස්ථාවේ ලබාගත් වීඩියෝ දර්ශනවලින් විශාල දුම්රොටු අහසට නැඟෙන අයුරු සහ ගින්නෙන් දැවී ගිය මෝටර් රථ කිහිපයක් දක්නට ලැබෙනවා.
එමෙන්ම සහන සේවා කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව සිටින අයුරු ද දර්ශනවල දැක්වෙනවා.
කෙසේ වෙතත්, ගින්නට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැත.
ඉරාකයේ විදුලිබල යටිතල පහසුකම් පද්ධතිය දශක ගණනාවක් පුරා පැවති ප්‍රමාණවත් ආයෝජන නොමැතිකම, නිසි නඩත්තු කටයුතු සිදු නොවීම සහ විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි වීම වැනි ගැටලුවලට මුහුණ දී තිබෙනවා.
විශේෂයෙන්ම අධික උෂ්ණත්වයක් පවතින ගිම්හාන කාලයේදී විදුලි ඉල්ලුම ඉහළ යාමත් සමඟ මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වේ.
මීට පෙර ද ඉරාකයේ විදුලි උපපොළවල් සහ විදුලිබල මධ්‍යස්ථාන ආශ්‍රිතව ඇති වූ ගිනිගැනීම් සහ තාක්ෂණික දෝෂ හේතුවෙන් විදුලි සැපයුමට බාධා එල්ල වී ඇති අතර, ඇතැම් අවස්ථාවල පුළුල් ප්‍රදේශවල විදුලි බිඳවැටීම් ද වාර්තා වී තිබෙනවා.