
චීනය, රුසියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පැවති ත්‍රෛපාර්ශ්වික නායක හමුවකින් අනතුරුව, ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
චීන ජනාධිපති ෂී ජින්පිං, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම හමුවට එක්ව ඇති අතර, එහිදී ජාත්‍යන්තර ස්ථාවරත්වය සහ උපායමාර්ගික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට නායකයන් එකඟ වී ඇති බව ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් වේ.
එමෙන්ම බලශක්ති ආරක්ෂාව පිළිබඳව ද නායකයන් අතර සාකච්ඡා පවත්වා ඇති අතර, පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදනවල නිෂ්පාදනය සහ සැපයුම ඉහළ නැංවීමට ද එකඟතාව පළ කර තිබේ.
රාජ්‍ය නිලධාරීන්ට හිමි නීතිමය මුක්තිය පිළිබඳ කරුණ ද සාකච්ඡාවට ලක්ව ඇති අතර, ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) ඇතුළු එවැනි ආයතන සිය අධිකරණ බලය අනිසි ලෙස භාවිත නොකළ යුතු බවට නායකයන් එකඟ වී ඇත.
න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරමින්, "න්‍යෂ්ටික යුද්ධයක් ජයගත නොහැකි අතර එවැනි යුද්ධයක් කිසිවිටෙකත් සිදු නොවිය යුතුය" යන ස්ථාවරය නායකයන් යළිත් අවධාරණය කර තිබේ.
න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සංවාද සහ සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාමට ද ඔවුන් එකඟ වී ඇත.
මේ අතර, චීන රාජ්‍ය මාධ්‍ය වන CCTV වාර්තා කළේ, ජනාධිපති ෂී ජින්පිං මෙම හමුව "ධනාත්මක, සාධනීය සහ ඉතා ඵලදායී" සාකච්ඡාවක් ලෙස හැඳින්වූ බවයි.
දෙවන ලෝක යුද්ධ සමයේදී රටවල් තුනේ ජනතාව එකට එක්ව සටන් කළ ඉතිහාසය සිහිපත් කළ ෂී ජින්පිං, ඉතා අසීරුවෙන් දිනාගත් සාමය අගය කිරීමේ වැදගත්කම ද අවධාරණය කර තිබේ.
ලෝකයේ ප්‍රධාන බලවතුන් සියලු රටවල නීත්‍යනුකූල ආරක්ෂක අවශ්‍යතාවලට ගරු කළ යුතු බව ද ඔහු පවසා ඇත.
"සංවාදය අඛණ්ඩව පවතින තාක් සහ සාකච්ඡා සඳහා දොරටුව විවෘතව පවතින තාක් සාමය පිළිබඳ බලාපොරොත්තුවක් පවතී" යනුවෙන් ෂී ජින්පිං ප්‍රකාශ කළ බව CCTV වාර්තාවේ දැක්වේ.
අද පැවති ත්‍රෛපාර්ශ්වික හමුවේදී වපුරන ලද බීජ අනාගතයේදී මුල් බැස, දළුලා, මල් පිපී ඵල දරනු ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.
එමෙන්ම සන්නිවේදනය ශක්තිමත් කිරීම, සංවාදය තුළින් පොදු එකඟතා ගොඩනැගීම, වගකීමෙන් යුතුව අභියෝගවලට මුහුණදීම සහ සහයෝගීතාව තුළින් සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා රටවල් තුන එක්ව කටයුතු කළ යුතු බව ද ෂී ජින්පිං වැඩිදුරටත් අවධාරණය කර ඇත.
ලෝක සාමය සහ වඩා යහපත් අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් ප්‍රධාන බලවතුන් අතර අඛණ්ඩ සංවාදයක් සහ සහයෝගීතාවක් පවත්වාගෙන යාමේ වැදගත්කම මෙම හමුවෙන් යළිත් අවධාරණය වී තිබේ.