
අම්පාර දිස්ත්‍රික්කය පුරා උග්‍ර වී පවතින අලි-මිනිස් ගැටුමට කඩිනම් හා තිරසර විසඳුම් ලබාදීමේ අරමුණින් අම්පාර දිස්ත්‍රික් වන අලි-මිනිස් ගැටුම් කළමනාකරණ කමිටුවේ විශේෂ රැස්වීමක් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ජන ජීවිත හා වගාබිම් ආරක්ෂා කරමින් වනජීවී සම්පත සංරක්ෂණය කිරීම සඳහා සමබර ප්‍රවේශයක් යටතේ ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි මෙහිදී තීන්දු තීරණ රැසකට එළඹිණි.
දිස්ත්‍රික්කයේ වඩාත් අවදානම් කලාප ආවරණය වන පරිදි මූලික අදියර යටතේ ස්ථාපිත කෙරෙන නව වන අලි පාලන ඒකක 14ක මෙහෙයුම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, එම කටයුතු කඩිනමින් අවසන් කිරීමට තීරණය කර තිබේ.
වන අලින් නිරන්තරයෙන් ආකර්ෂණය වන ප්‍රධාන ස්ථානයක් වන අඩ්ඩාලච්චේන කසළ කන්ද ආශ්රිත පාරිසරික අර්බුදයට තිරසර විසඳුමක් ලෙස කසළවලින් බලශක්තිය නිපදවීමේ ‘Waste to Energy’ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
එමෙන්ම වනජීවී ක්ෂේත්‍ර රාජකාරි හා මෙහෙයුම් යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය මානව හා භෞතික සම්පත් පුළුල් කිරීම කෙරෙහිද විශේෂ අවධානය යොමු විය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 1,463 දෙනෙකු සහ බහුකාර්ය නිලධාරීන් 552 දෙනෙකු මේ වන විට අනියුක්ත කර ඇති අතර, ගමනාගමන පහසුකම් සඳහා යතුරුපැදි 38ක් සහ ඩබල් කැබ් රථ 2ක් ලබාදී තිබේ. තවද ඉදිරි සති දෙක තුළ තවත් සිංගල් කැබ් රථ 9ක් වනජීවී කාර්යාල වෙත ලබාදීමට නියමිතය.
ප්‍රජා සහභාගිත්වය තහවුරු කරමින් ගැටලුවට ක්ෂේත්‍ර මට්ටමින් මුහුණදීම සඳහා ග්‍රාමීය කමිටු පිහිටුවා ඒවා මාසිකව රැස් කිරීමටද තීරණය කර ඇත. අලි වැට නඩත්තුව සහ අලි වැටවලට සවිකර ඇති ‘Spring Gates’ ආරක්ෂා කර ගැනීම සඳහා මෙම ප්‍රජා කමිටුවල සක්‍රීය සහයෝගය ලබාගැනීමට නියමිතය.
එමෙන්ම වන රක්ෂිත කලාප තුළට අක්‍රමවත් ලෙස ගවයන් ඇතුළු කිරීම පාලනය කිරීම සහ දැනට රක්ෂිත තුළ සිටින අනවසර ගව රැළ ක්‍රමානුකූලව ඉවත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය හා පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීමටද පියවර ගෙන තිබේ.
මෙම විශේෂ සාකච්ඡාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා, අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා, පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උදය කුමාර මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නිලධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයන් සහ ප්‍රදේශවාසීහු එක්ව සිටියහ.