
බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පියවරවල කොටසක් ලෙස, මංගල උත්සව, සාද, හෝටල්, බැංකු, සුපිරි වෙළඳසැල්, ආයතනික උත්සව සහ වෙනත් උත්සව වලදී ඇතැම් සංගීතය මහජන භාවිතය සඳහා බලපත්‍ර අවශ්‍ය කරන නව රෙගුලාසි බලාත්මක වී තිබෙනවා
ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය යටතේ ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්රකාශකයින්ගේ සංගමය (ACPOSL) විසින් ගැසට් එකක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
ඒ අනුව, හෝටල් සහ අනෙකුත් වාණිජ ස්ථානවල පැවැත්වෙන උත්සව සඳහා Public Performance බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සමාජයේ පැතිර යන වැරදි මත සහ චෝදනා පිළිබඳව අවධානය යොමුව ඇති බවත් ACPOSL පවසනවා.
ACPOSL අවධාරණය කරන්නේ මෙම ක්‍රමවේදය රජයේ තීරණයක් හෝ රජය විසින් පනවන ලද බද්දක් හෝ ගාස්තුවක් නොවන බවයි.
ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ (NIPO) ලියාපදිංචි ස්වාධීන සාමූහික කළමනාකරණ සංවිධානයක් වන ACPOSL, නිර්මාණකරුවන් සහ ප්‍රකාශකයන් නියෝජනය කරන බවද එම සංවිධානය සඳහන් කරනවා.
ඔවුන් පවසන්නේ නිර්මාණකරුවන් තම නිර්මාණ සඳහා හිමි අයිතිවාසිකම් සහ සාධාරණ කර්තෘභාගය ලබාගැනීම වෙනුවෙන් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවයි.
එමෙන්ම Band එකකට හෝ එහි සාමාජිකයන්ට මෙම උත්සව බලපත්‍ර ගාස්තුව ගෙවීමට ACPOSL විසින් නියම කර නොමැති බවද සඳහන්.
වාණිජ ස්ථානවල සහ සංවිධානාත්මක උත්සවවලදී සංගීතය භාවිත කරන අවස්ථා සඳහා මෙම බලපත්‍ර ක්‍රමය මූලික වශයෙන් අදාළ වන බවයි ACPOSL පවසන්නේ.
නිවසක පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමඟ පෞද්ගලිකව පවත්වන සාමාන්‍ය ගෘහස්ථ උත්සව මෙහි ඉලක්කයක් නොවන බවද ඔවුන් අවධාරණය කරනවා.
මේ අතර, විවාහ සහ පෞද්ගලික උත්සව සඳහා දැනට පවතින ගාස්තු ක්‍රමවේදය සමාලෝචනය කරමින් සිටින බවත්, වඩාත් සාධාරණ හා සරල ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බවත් ACPOSL සඳහන් කරනවා.
නගරයෙන් පිටත පිහිටි කුඩා හෝටල් පරිශ්‍ර සහ කුඩා පරිමාණයේ උත්සව සඳහාද වෙනම, සාධාරණ සහ පහසු ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට අවධානය යොමු කර ඇති බවයි එම සංවිධානය පවසන්නේ.
සංගීතයෙන් ආදායමක් උපයාගෙන ජීවත්වීමට අයිතියක් තිබෙන පාර්ශ්ව මෙන්ම එම සංගීතය නිර්මාණය කළ පුද්ගලයන්ටද සාධාරණ ප්‍රතිලාභයක් හිමිවිය යුතු බවයි ACPOSL අවධාරණය කරන්නේ.