
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන් මහතාගේ දෙමාපියන් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.
මෙහිදී සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කළ ඔහුගේ දෙමාපියෝ, සිය පුත්‍රයා සම්බන්ධයෙන් කඩිනම් මැදිහත්වීමක් සිදු කර ඔහුගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළහ.
ඔවුන්ගේ ඉල්ලීමට සාවධානව සවන් දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, සිවරාසා අනෝජන් මහතාට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරමින් සිටින බවත්, ඒ වෙනුවෙන් නෛතිකව සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බවත් සඳහන් කළේය.
විශේෂයෙන්, සෞදි රජුගෙන් මේ පිළිබඳව සමාව ලබා දෙන ලෙස රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ලිඛිතව ඉල්ලා සිටීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසීය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයද සිවරාසා අනෝජන් මහතා සම්බන්ධ සිද්ධිය පිළිබඳව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් අඛණ්ඩව අවධානය යොමු කරමින්, සෞදි බලධාරීන් සමඟ රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී සඳහන් කළේය.
ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සහ සිවරාසා අනෝජන් මහතාගේ පවුලේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.