
මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය තත්ත්වය හේතුවෙන් යුක්රේනයට අවශ්‍ය ගුවන් ආරක්ෂක මිසයිල ලබා ගැනීම බරපතල අභියෝගයක් විය හැකි බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.
ඉතාලියේ 'Corriere della Sera' පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී සෙලෙන්ස්කි සඳහන් කළේ, ඇමරිකාව සහ එහි ගල්ෆ් මිත්‍ර රටවල් තමන්ගේ ආරක්ෂාව සඳහා 'පේට්‍රියට්' (Patriot) වැනි මිසයිල වැඩි වශයෙන් භාවිත කිරීම නිසා ලෝක වෙළඳපොළේ අවි හිඟයක් ඇති විය හැකි බවයි.
එමෙන්ම රුසියානු ආක්‍රමණයට එරෙහිව වසර හතරක් පුරා යුක්රේනය ගෙන යන සටන කෙරෙහි ලෝක නායකයන් තුළ පවතින අවධානය මැදපෙරදිග අර්බුදය දෙසට යොමු වීමේ අවදානමක් පවතින බව ද ඔහු පෙන්වා දෙයි.
පසුගිය සතියේ යුක්රේන ආක්රමණයේ සිව්වන වසර සැමරීමට බටහිර නායකයන් කියෙව් නුවරට රැස් වුවද, ඉන් දින කිහිපයකට පසු ගෝලීය අවධානය වෙනස් වී ඇති ආකාරය යුක්රේන වැසියන්ට දැනෙන්නට පටන් ගෙන ඇති බවත් යුක්රේන ආරක්ෂාව "අමතක වූ යුද්ධයක්" (Forgotten War) බවට පත්වීමේ බියක් පවතින බවටත් සෙලෙන්ස්කි වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ අතර හිටපු ජනාධිපති ජෝ බයිඩන්ව රවටා ඇමරිකාවේ වටිනා අවි ආයුධ නොමිලේ ලබා ගැනීමට සෙලෙන්ස්කි සමත්ව ඇති බව ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහන් කර ඇත. ඇමරිකාව සතුව "අසීමිත" අවි තොග පවතින බව පැවසුවද, යුක්රේනයට ලබා දෙන සහය පිළිබඳව ට්‍රම්ප් දැඩි විවේචනයක පසුවේ.
පසුගිය වසරේ ඊශ්‍රායලය විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කළ අවස්ථාවේදී යුක්රේනයට ලැබීමට තිබූ මිසයිල ප්‍රමාද වූ බවත්, මෙම අවස්ථාවේදීත් එවැනිම තත්ත්වයක් උදාවනු ඇතැයි තමන් බිය වන බවත් සෙලෙන්ස්කි පවසයි.
කෙසේ වෙතත්, ඉරානයේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම යුක්රේනයට වාසිදායක බව සෙලෙන්ස්කි පිළිගනී. රුසියාවට 'ෂහීඩ්' (Shahed) ඩ්‍රෝන සහ මිසයිල විශාල වශයෙන් සපයන ඉරානයට, මෙම ප්‍රහාර හමුවේ එම සැපයුම් අඛණ්ඩව කරගෙන යාමට නොහැකි වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරයි.
එමෙන්ම ඉරානයට සහය දැක්වීමට ජනාධිපති පුටින් අසමත් වීමෙන් පෙනී යන්නේ ඔහු "දුර්වල මිත්‍රයෙකු" බව යැයි සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ.