2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 3කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.
ඒ එක්දින කාන්තා ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යාමේ වාර්තාවද තමන් සතු කර ගනිමින්.
තරගාවලියේ 13වැනි තරගය වූ මෙය ඉන්දියාවේ විසාකාපට්නම්හිදි පැවැත්වුණා.
එහි කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායක ඇලීසා හීලි පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව ඉන්දීය ඉනිම ආරම්භ කළේ ප්‍රතිකා රාවල් සමගින් ස්ම්රිති මන්දනා.
ඔවුන් දෙදෙනා සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ පළමු කඩුල්ලට ලකුණු 155ක විශිෂ්ට සබඳතාවක් එක්කරමින්.
ස්මිත්‍රි මන්දනා රැස් කළේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 33වැනි අර්ධ ශතකයයි.
ඇය වාර්තා අතරට එක්වුණේ එක්දින ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටිය තුළ වසරකදී ලකුණු 1000 සීමාව පසු කළ පළමු ක්‍රීඩිකාව ලෙසයි.
අඩුම ඉනිම සංඛ්‍යාවකින් එක්දින ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියේ ලකුණු 5000 සීමාව පසුකළ ක්‍රීඩිකාව බවට පත්වීමටද මන්දනා සමත් විය.
ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5ක් තුළ සියළු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 330ක්.
ඕස්ට්‍රේලියා කණ්ඩායම පිළිතුරු ඉනිම ආරම්භ කළේ නායක ඇලීසා හීලි සමගින් ෆීබී ලිච්ෆීල්ඩ්.
ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 85ක්.
ෆීබී ලිච්ෆීල්ඩ් ලකුණු 40යි.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඇලීසා හීලි රැස් කළේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 6වැනි ශතකය.
ඇය ලකුණු 142ක් රැස් කළේ හයේ පහර 3ක් සහ හතරේ පහර 21ක් සමගින්.
ඈෂ්ලි ගාර්ඩ්නර් ලකුණු 45යි.
එලිස් පේරී සමගින් පිටියේ එක්වූ කිම් ග්රැත් ඕස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.
එලිස් පේරි නොදැවී ලකුණු 47යි.
ලකුණු 331ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවන් තරගය ජය ගත්තේ පන්දුවාර 49ක් තුළ කඩුලු 7ක් දැවී සිටියදීයි.
එය වාර්තා අතරට එක්වන්නේ එක්දින කාන්තා ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් සිදු කළ ඉහළම ලකුණු හඹා යාම ලෙසයි.
මින් පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 2024 වසරේදි දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 302ක ඉලක්කයක් හඹා ගොස් තරගය ජය ගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමයි.
මෙම ජයග්‍රහණයත් සමග ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණට පැමිණ තිබෙනවා.