
ඝාතනයට ලක්වූ අපරාධ කල්ලි නායකයෙකු වන ගනේමුල්ල සංජීව නැමැත්තාගේ සමීපතමයෙකු වන, දැනට විදෙස්ගතව සැඟව සිටින මනෝජ් සුරංග හෙවත් බටුවත්තේ චාමර යන අයගේ බිරිඳගේ නමින් මිලදී ගෙන ඇති ජා ඇල වැලිගම්පිටියේ රුපියල් ලක්ෂ 400ක වටිනාකමකින් යුත් තෙමහල් නිවසක් දින 7ක කාලයක් සඳහා තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබෙනවා.
මෙම නිවස වෙනත් පාර්ශවයක් විසින් මීට මාස දෙකකට පමණ පෙර කුලී පදනම මත ලබාගෙන වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන ගොස් තිබුණා.
බටුවත්තේ චාමර යන අයගේ බිරිඳ මීට පෙර මෙම නිවසේ පදිංචිව සිට ඇති අතර, අවස්ථා 3කදී එම නිවස ඉලක්ක කරගෙන වෙඩි තැබීම් ද සිදුව තිබුණා.
මේ අතර, මත්ද්‍රව්‍ය සහ ආයුධ සමග අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා දෙකේ සිටි සැකකරුවන් දස දෙනා සම්බන්ධයෙන් දින 07ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබෙනවා.
ඒ ඔවුන් ඊයේ (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අදාළ සැකකරුවන් අවුරුදු 22ත් 49ත් අතර වයස්වල පසුවන ඉරණවිල, මහවැව, මැල්සිරිපුර, වෙන්නප්පුව, මීගමුව, නාකුළුගම, තංගල්ල, නෙටොල්පිටිය සහ ගන්දර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී හමුවූ නවීන ගිනි අවි 11 සහ රුපියල් බිලියන 10කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය, විදේශ රටකට පලා ගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන පරවි සුදා සහ අංගොඩ ප්‍රියංකර විසින් එවා ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
එම ගිනි අවි සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට අදාළ කටයුතු මෙහෙයවා ඇත්තේ, අත්අඩංගුවට ගත් හංසන නමැති බහුදින ධීවර යාත්‍රාව භාරව සිටි 23 හැවිරිදි ස්කීපර්වරයා බව ද හෙළි වී තිබෙනවා.
පරවි සුදා සහ අංගොඩ ප්‍රියංකර යන අය විසින් ඔහුට ඒ සඳහා මුදල් ලබා දී ඇති බව සඳහන්.
අදාළ ධීවර යාත්‍රා දෙකේ තිබී පිස්තෝල 08ක්, එම්. සික්ස්ටීන් වර්ගයේ ගිනි අවියක් සහ ටී - 56 වර්ගයේ ගිනි අවි දෙකක් සොයා ගනු ලැබුවා.
පසුගිය 8 වැනිදා මෙම ධීවර යාත්‍රාව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදු තීරයේදී සැකකරුවන් 5 දෙනෙකු සමග නාවික හමුදාව සිය භාරයට ගෙන තිබූ අතර එහි මත්ද්‍රව්‍ය කිලෝ 654ක් අඩංගු වී තිබුණා.
පසුව මෙම යාත්‍රාවට ආධාර දීමේ චෝදනාව මත තවත් බහුදින යාත්‍රාවක් නාවික හමුදාව විසින් සිය භාරයට ගනු ලැබුවේ තවත් සැකකරුවන් පස්දෙනෙකු ද සමගයි.