
"යතිවර මාපිය නිවහන" ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කිරීමට නියමත බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් බදුල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ස්වාමීන් වහන්සේලා සමඟ, ඊයේ (13) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
බුද්ධ ශාසනය සඳහා දරුවන් පිදූ, ආර්ථික වශයෙන් දුෂ්කර මට්ටමක සිටින හා පදිංචියට සුදුසු නිවසක් අහිමි දෙමාපියන්ගේ නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා වත්මන් රජයේ සංකල්පයක් ලෙස "යතිවර මාපිය නිවහන" වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
එහිදී තෝරාගනු ලබන දෙමාපියන් උදෙසා රුපියල් ලක්ෂ 15 ක් බැගින් ආධාරයක් ලබාදී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඉදිකිරීම් සිදුකිරීමට නියමිතය. මේ යටතේ දිවයින පුරා යතිවර මාපිය නිවහන් දහසක් ඉදිකිරීමට යෝජිතය.
මීට අමතරව දිට්වා ආපදා තුළින් හානියට පත් ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැඟීම සඳහා ක්‍රියාත්මක කෙරෙන "ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ" වැඩසටහන සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය කහත්තේවල සිරිනිවාස හිමියන්, ඌව අමරපුර නිකායේ අනුනායක පූජ්‍ය කණවැරැල්ලේ හේමාලෝක හිමියන්, බදුල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය කැන්දවින්නේ ගුණානන්ද හිමියන්, දිස්ත්‍රික් ලේඛකාධිකාරී පූජ්‍ය වංගියකුඹුරේ සමිත හිමියන්, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම යන මහත්වරුන් ඇතුළු මහා සංඝරත්නයද අදාළ රාජ්‍ය නිලධාරීන් රැසක්ද එක්ව සිටියහ.