
බීඩි කොළ කිලෝග්රෑම් 2000 කට අධික තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින්
ඇතුළු සැකකරුවන් පිරිසක් හලාවත මුහුදේදී නාවික හමුදාවෙන් අත්අඩංගුවට
ගෙන තිබෙනවා.
ශ්රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් මඟින් හලාවතට ඔබ්බෙන් වූ,
මෙරට මුහුදු සීමාව තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්රියාත්මක කළා.
මෙම මෙහෙයුමේදි එම මුහුදු ප්රදේශයේ නීති විරෝධී ලෙස යාත්රා කරමින් තිබූ
ඉන්දීය ධීවර යාත්රාවක් සහ සැකකටයුතු දේශීය ඩිංගි යාත්රා තුනක් (03)
නිරික්ෂණය කොට තිබෙනවා.
එම ඉන්දීය ධීවර යාත්රාවෙන් මෙරට ඩිංගි යාත්රාවලට උර කිහිපයක් හුවමාරු
කිරීමට උත්සාහ කරන අයුරු නිරික්ෂණය කළ නාවික හමුදාව පසුව එම යත්රා
සියල්ල පරික්ෂාවට ලක් කළා.
එහිදී සැකකටයුතු උර පනස් හතරක් (54) පරීක්ෂාවට ලක් කොට ඇති අතර,
එම උර තුළ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝග්රෑම්
දෙදහසකට (2000) අධික තොගයක් තිබු බව නාවික හමුදා පවසනවා.
එම බීඩි කොළ තොගය සිය භාරයට ගත් නාවික හමුදාව බීඩි කොළ තොගය
රැගත් ඉන්දීය ධීවර යාත්රාවක් සමඟ ඉන්දීය ජාතික සැකකරුවන් සිව් දෙනෙකු
(04) හා මෙරට ඩිංගි යාත්රා තුනක් (03) සමඟ සැකකරුවන් හය දෙනෙකු (06)
අත්අඩංගුවට ගනු ලැබුවා.
ඉන්දීය ජාතික සැකකරුවන් වයස අවුරුදු 18 ත් 50 ත් අතර වයස්වල පසුවන
අතර ශ්රී ලාංකික සැකකරුවන් වයස අවුරුදු 21 ත් 42 ත් අතර වයස්වල පසුවන
කල්පිටිය ප්රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.
එම සැකකරුවන් සමඟ යාත්රා සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු
සඳහා කොළඹ වරාය රේගු නිවාරන කාර්යාලය වෙත භාරදීමට කටයුතු කොට
තිබෙනවා.