
2026 වසරේ මාර්තු මාසයේ දී විදේශීය ජංගම ගිණුමෙහි සුළු අතිරික්තයක් වාර්තා වූ අතර, පෙර වසරට සාපේක්ෂව වෙළඳ හිඟය පුළුල් වීම සහ සේවා ගිණුමේ අතිරික්තය අඩු වීම මධ්‍යයේ වුවද, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යෑම සහ ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟය අඩු වීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු වි තිබෙනවා. ඒ අනුව 2026 වසරේ පළමු කාර්තුව තුළ දී ජංගම ගිණුමේ සමුච්චිත අතිරික්තය එක්සත් ජනපද ඩොලර් මිලියන 531 ක් ලෙස වාර්තා විණා. අපනයනවලට සාපේක්ෂව ආනයනවල ඉහළ වර්ධනය පිළිබිඹු කරමින් 2026 වසරේ මාර්තු මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පුළුල් වි ඇත. 2026 වසරේ පළමු කාර්තුවේ දී, වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් බිලියන 2.3 ක් දක්වා වැඩි වි තිබෙනවා. මැද පෙරදිග පවතින යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ගණන් සහ ආනයන පරිමාවන් ඉහළ යෑම මත 2026 වසරේ මාර්තු මාසයේ දී ඉන්ධන ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 630 ක් දක්වා වාර්ෂික ලක්ෂ්යමය පදනම මත 74.7% කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. පෞද්ගලික සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයන වියදම 2026 වසරේ මාර්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 195 ක් වූ අතර, 2026 වසරේ පළමු කාර්තුව තුළ දී මුළු වාහන ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 613 ක් වුණා. ආනයන මිල ගණන් පහළ යෑම ඉක්මවා අපනයන මිල ගණන් පහළ ගිය බැවින්, 2026 වසරේ මාර්තු මාසයේ දී වෙළඳ මිල අනුපාතය වාර්ෂික ලක්ෂ්යමය පදනම මත පහළ ගොස් තිබෙනවා. මේ අතර, 2026 වසරේ පළමු කාර්තුවේ දී වෙළඳ මිල අනුපාතය පෙර වසරට සාපේක්ෂව සුළු වශයෙන් පහළ ගොස් ඇත. සංචාරක ඉපැයීම්වල අඩු වීම හේතුවෙන්, 2026 වසරේ මාර්තු මාසයේ දී සේවා ගිණුමේ අතිරික්තය එක්සත් ජනපද ඩොලර් මිලියන 227 ක් දක්වා වාර්ෂික ලක්ෂ්යමය පදනම මත 42.4% කින් සැලකිය යුතු ලෙස පහළ වැටි ඇත. 2026 වසරේ පළමු කාර්තුව සඳහා සේවා ගිණුමේ සමුච්චිත අතිරික්තය, 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 20.2%කින් අඩුවි තිබෙනවා. මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෑත මාසවල දී සංචාරක ක්ෂේත්රය තුළ දක්නට ලැබුණු ස්ථාවර වර්ධනය ආපසු හැරුණු අතර, 2026 වසරේ මාර්තු මාසයේ දී සංචාරක පැමිණීම් වාර්ෂික ලක්ෂ්යමය පදනම මත 19.8% ක සැලකිය යුතු ලෙස පහළ යෑමක් පිළිබිඹු කරමින්, 183,979ක් දක්වා පහළ වැටුණා. 2026 වසරේ මාර්තු මාසයේ දී සංචාරක ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 224 ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇති අතර, 2026 වසරේ පළමු කාර්තුව තුළ දී සමුච්චිත ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 954 ක් දක්වා වාර්ෂික ලක්ෂ්යමය පදනම මත 15.0% කින් පහළ ගියා. 2026 වසරේ මාර්තු මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 815 ක් දක්වා ඉහළ ගිය අතර, එය වාර්ෂික ලක්ෂ්යමය පදනම මත 17.5% ක වර්ධනයක් වාර්තා කළා. සමුච්චිත වශයෙන්, වසරේ පළමු කාර්තුව තුළ දී ප්‍රේෂණ වාර්ෂික ලක්ෂ්යමය පදනම මත 26.5% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර තිබෙනවා. 2026 වසරේ මාර්තු මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි එක්සත් ජනපද ඩොලර් මිලියන 64 ක ශුද්ධ ගෙවීමක් වාර්තා වූ අතර, ප්‍රාථමික සහ ද්විතීයික වෙළඳපොළ ගනුදෙනු ඇතුළත් කොළඹ කොටස් වෙළඳපොළෙහි එක්සත් ජනපද ඩොලර් මිලියන 10 ක ශුද්ධ ගෙවීමක් වාර්තා වුණා. 2026 වසරේ මාර්තු මස අග වන විට, චීන මහජන බැංකුව සමඟ වන විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත්ව, දළ නිල සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 7.0 ක් වි තිබෙනවා. මහ බැංකුව විසින් විදේශ විනිමය මිලදී ගනු ලැබුව ද, විදේශ ණය සේවාකරණ ගෙවීම් සිදු කිරීම මාසය තුළ දී දළ නිල සංචිත පහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වුණා. 2026 වසරේ පෙබරවාරි මස අග භාගයේ දී මැද පෙරදිග ගැටුම ආරම්භ වීමෙන් පසු ඇති වූ විදේශීය අංශයේ පීඩනයන් මධ්‍යයේ, 2026 වසරේ අප්‍රේල් මස අවසානය වන විට, ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 2.9% කින් අවප්‍රමාණය වි තිබෙනවා.